යුද සහ නාවික නිලධාරීන්ට උසස්වීම්

ජාතික රණවිරු සැමරුමට සමගාමීව, ජනාධිපතිවරයාගේ උපදෙස් මත, ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ නාවික හමුදාවේ නිලධාරීන් පිරිසකට උසස්වීම් ලබාදී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 402 ක් සහ සෙසු නිලයන් 3348 ක් සඳහා ඔවුන්ගේ ඊළඟ නිලය දක්වා උසස්වීම් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

එසේම ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 1731 දෙනෙකුටද මෙලෙස උසස්වීම් ලබාදී තිබෙනවා.

ජුනි මාසයේ සිට පාස්පෝට් නිවසේ සිටම අයදුම් කර දින තුනකින් ලබාගත හැකි ක්‍රමවේදයක්

ජුනි මාසයේ සිට විදෙස් ගමන් බලපත්‍රය සඳහා නිවසේ සිටම ඉල්ලුම් කිරීමට හැකි ක්‍රමවේදයක් නිර්මාණය කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දිස්ත්‍රික්ක 25 ක ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50 ක් තුළ ඇඟිලි සලකුණු යන්ත්‍ර සවිකර ඒ සඳහා නිලධාරීන් පුහුණු කිරීමද අවසන් කර ඇති බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ.

දෙපාර්තමේන්තුවට අයදුම්පත්‍රය Online ක්‍රමය ඔස්සේ යොමුකර අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඇඟිලි සලකුණු හා ඡායාරූප ලබා ගැනීමෙන් අනතුරුව ගමන් බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය ගාස්තු ගෙවීම Online මාර්ගයෙන් හෝ ලංකා බැංකු ඕනෑම ශාඛාවකින් සිදුකළ හැකි බවද ඔහු සඳහන් කළා.

ඉන් අනතුරුව දින තුනක් තුළ ගමන් බලපත්‍රය තැපැල් දෙපාර්තමේන්තුව හරහා නිවසට ලබාදීමේ මූලික වැඩ කටයුතු මේ වන විට අවසන් කර ඇති බවයි ආගමන විගමන පාලක ජනරාල්, හර්ෂ ඉලුක්පිටිය වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණය ගැන අනතුරු ඇඟවීමක්

අද (19) දිනයේ ප්‍රදේශ කිහිපයක උණුසුම් කාලගුණ තත්ත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටිනවා.

ඒ අනුව උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන, අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ.

ඩෙංගු මර්දනයට ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස සියලු පළාත් පාලන බලධාරීන්ට උපදෙස්

ඩෙංගු මර්දනය සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස සියලු පළාත් පාලන බලධාරීන්ට උපදෙස් ලබාදුන් බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

ඒ අනුව පළාත් ආණ්ඩුකාරවරුන්, පළාත් කොමසාරිස්වරුන්, මහ නගර සභා කොමසාරිස්වරුන් සහ ප්‍රාදේශීය සභා ලේකම්වරුන් කැඳවා මෙම උපදෙස් ලබාදුන් බවයි සඳහන් වන්නේ.

මේ සඳහා මහජනතාවගේ සහයෝගය සක්‍රීයව ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන බවයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර වැඩිදුරටත් සඳහන් කළේ.

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වෙනසක් සිදු කිරීමට තීරණය කෙරේ

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වෙනසක් සිදුකිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඉදිරියේදී මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ වාහනයක වත්මන් හිමිකරුගේ සහ පෙර හිමිකරුගේ නම් පමණක් ඇතුළත් කිරීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ. මැයි මස 17 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙය බල පැවැත්වෙන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

ජාතික රණවිරු සැමරුම් උත්සවය අද

ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පස්වරු 4.30 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අසලදී මෙය පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

තිස් වසරක් පැවති යුද්ධයෙන් මාතෘ භූමියේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට දිවි පිදූ රණවිරුවන් ඇගයීම සඳහා මෙම ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙනවා.

වසන්ත මුදලිගේ අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඊයේ (19) රාත්‍රියේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුරදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පොලීසියේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

2024 වසරේ සිට සාමාන්‍ය පෙළ ස​හ උසස් පෙළ විභාග එම වසරේම පැවැත්වීමට අවධානය

2024 වසරේ සිට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග එම වසර තුළ පැවැත්වීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

ඒ අනුව නිවාඩු කාලය අඩුකර අධ්‍යයන කාලය වැඩි කරමින් විෂය නිර්දේශ සම්පූර්ණ කිරීමට අවස්ථාව ලබාදෙන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උත්තර පත්‍ර පරික්ෂාව සඳහා සම්බන්ධවීම හරහා මේ වන විට එම කටයුතු ආරම්භ කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ලංකා බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව ජනපතිට

ලංකා බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව, ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා විසින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී තිබෙනවා.

මහජනතාවට සහ ගනුදෙණුකරුවන්ට දැන ගැනීම පිණිස ඉදිරියේ දී මෙම වාර්තාව සිංහල හා දමිළ බසින් නිකුත් කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරි රසල් ෆොන්සේකා හා ප්‍රධාන මූල්‍ය නිලධාරි රුවන් කුමාර මෙම අවස්ථාව සඳහා එක්වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

e1048a2d0db9e8a911a950815807191e

ජුනි මාසයේ සිට දින තුනක් තු​ළ ගමන් බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක්

ජුනි මාසයේ සිට ගමන් බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදුකරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ආගමන විගමන පාලක ජනරාල්, හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ නව වැඩපිළිවෙල අනුව අයදුම්කරුවන් කොළඹට ගෙන්වීමේ අවශ්‍යතාවයක්ද නොමැති බවයි.

දින තුනක් ඇතුළත ගමන් බලපත්‍රය රජයේ තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිවෙස් වෙත යැවීමේ මූලික වැඩ කටයුතු සුදානම් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.