ගම්පහ සතියකට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 400 දක්වා ඉහළට

ගම්පහ දිස්ත්‍රික්කයේ සතියකට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 400 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එසේම දිවයින පුරා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 370 අතරින් ඩෙංගු වැඩි අවධානමක් සහිත කොට්ඨාස 39 ක් හඳුනාගෙන ඇති බවයි එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි සඳහන් කළේ.

මෙම වසරේ මේ දක්වා ඩෙංගු මරණ 22 ක් වාර්තාවන බවත් නිසි අවස්ථාවේ වෛද්‍යවරයෙකු හමුවීම හා රෝහල්ගතවීම මඟින් මරණ සංඛ්‍යාව අඩුකරගත හැකි බවත් ඇය සඳහන් කළා.

නිවෙස් ආශ්‍රිතව 0.4% ක් සහ රාජ්‍ය ආයතන ආශ්‍රිතව 0.6% ක් ඩෙංගු මදුරු කීටයන් හමුවන බවත් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර එම ස්ථාන පිරිසිදු කිරීම් කටයුතු කළ යුතු බවයි එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි වැඩිදුරටත් සඳහන් කළේ.

සාමාන්‍ය පෙළ උපකාරක පන්ති හෙට මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හෙට (23) මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි 29 සිට ජුනි 08 වනදා දක්වා දිවයින පුරා විභාග මධ‍්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අධිවේගී මාර්ගයේ රිය ධාවනය කරන රියදුරටන්ට දැනුම්දීමක්

අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන පැදවීමේදී පැයට කිලෝමීටර 60 සීමාවේ සිය වාහන පදවන ලෙස අධිවේගී මාර්ග රථ වාහන පොලිස් කොට්ඨාසය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව වාහන අතර නිසි පරතරය තබා ගනිමින් ගමනාන්තය දක්වා සිය වාහනය පදවන ලෙසයි අධිවේගී මාර්ග රථ වාහන පොලිස් කොට්ඨාසය දැනුම් දෙන්නේ. එසේම ඉදිරිපස හා පසුපස ලාම්පු දල්වාගෙන රිය ධාවනය කරන ලෙසයි ඔවුන් වැඩිදුරටත් රියදුරන්ට දැනුම්දෙන්නේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද (21) උදෑසන 8.00 සිට හෙට (22) උදෑසන 8.00 දක්වා එය වලංගු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ, යක්කලමුල්ල, බද්දේගම, ඇල්පිටිය සහ නාගොඩ යන ප්‍රදේශවලට මෙලෙස නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ජාතික සයිබර් ආරක්ෂණ සමුළුව මැයි 23 වැනිදා කොළඹ දී

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) මඟින් සංවිධානය කරනු ලබන 15 වැනි ජාතික සයිබර් ආරක්ෂණ (Cyber Security) සමුළුව මැයි 23 වැනිදා කොළඹ Waters Edge හෝටලයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව එම සංසදය පවසනවා.

“තීරණාත්මක ජාතික තොරතුරු යටිතල පහසුකම් ආරක්ෂා කරගැනීම” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව සඳහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සහ වෘත්තිකයින් රැසක් සහභාගී වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

සයිබර් ආරක්ෂණය (Cyber Security) පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මෙම සමුළුව සඳහා ප්‍රවේශ පත්‍ර ලබාගැනීමේ අවස්ථාව සලසා ඇති බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

Online ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි වෙබ් ලිපිනය පහතින්.
https://csw.cert.gov.lk/

බංකොළොත් බවින් මිදුණු අභිමානවත් රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්ව කැපවිය යුතුයි – ජනපති

බංකොළොත් බවින් මිදුණු අභිමානයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්ව කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

කෑගල්ල අරණායක “අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය” ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, මාවනැල්ල සහ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාවලට අයත් ග්‍රාම නිලධාරි වසම් 135ක පැවති පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දෙමින් ශ්‍රී ලංකා රජයේ රුපියල් මිලියන 3,847ක මූල්‍ය ප්‍රතිපාදන සහ නෙදර්ලන්ත රජයේ රුපියල් මිලියන 18,650ක ණය ආධාර යටතේ මෙම ජල යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවා තිබෙනවා.

බදු අය කිරීමේ ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම කිරීමට රජයේ අවධානය

බදු අය කිරීමේ ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම කිරීම පිළිබඳව රජයේ අවධානය යොමව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මීට අදාළ වාර්තාවක් මේ වනවිට සකස්කරමින් පවතින බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

බදු අය කර ගැනීමේ අඩුපාඩු හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, රේගුව ඇතුළු සියලුම ආයතනවලට අදාළ වන පරිදි මෙම වාර්තාව සකස් කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.

කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළේ ගැටලු නිරාකරණයට කෘෂි ලේකම් කාර්යාලයක්

කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළේ දී මතුව ඇති ගැටලු නීත්‍යානුකූලව නිරාකරණය කර ගැනීම සඳහා කෘෂි නවීකරණ ලේකම් කාර්යාලයක් කඩිනමින් ස්ථාපිත කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නවීකරණය සඳහා ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

කෘෂි නවීකරණ වැඩපිළිවෙළ හා සම්බන්ධව සිටින ජනාධිපති කාර්යාලයේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ අනෙකුත් රේඛීය අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරුන් හා සමාන්තර ශ්‍රේණිවල නිලධාරින් මෙම කෘෂි නවීකරණ ලේකම් කාර්යාලය සඳහා නම් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා වෙත මෙහිදී උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද

අපවත්වී වදාල අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (21) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතව ඇති බවයි අමරපුර මහ සංඝ සභාව සඳහන් කළේ.

අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහ නාහිමියන් පසුගිය 16 වනදා අපවත් වූ අතර අපවත් වන විට උන්වහන්සේ 84 වන වියේ පසු වුණා.

බිත්තර ආනයනය ඉහළ දැමීමට අවධානය

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ප්‍රමාණය ඉහළ දැමීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ අවධානය යොමුව ඇති බව එහි සභාපති ආසිරි වලිසුන්දර පවසනවා.

ඒ සදහා සොයා බැලීමට නිලධාරීන් තුන්දෙනෙකු මේ වන විටත් ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බවයි ඔහු සඳහන් කළේ.

අදාළ නිලධාරීන් පිරිස දැනට බිත්තර ආනයනය කරන ගොවිපළවල් නිරීක්ෂණය කර දිවයිනට පැමිණි පසු වාර්තාවක් ලබාදීමට නියමිත බවද ඔහු සඳහන් කළා.

දෛනිකව ඉන්දීය බිත්තර මිලියනයක් ආනයනය කිරීමට අපේක්ෂා කරන බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර වැඩිදුරටත් සඳහන් කළේ.