අද ඩොලරයේ විකුණුම් මිල රු.311 දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (24) සුළු පහළ යෑමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.297.98 ක් ලෙස හා විකුණුම් මිල රු.311.23 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

ජනක රත්නායක ඉවත් කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට

ජනක රත්නායක උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

සභානායක සුසිල් ප්‍රේම්ජයන්ත් විසින් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් වන විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අතර අද (24) සවස ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතුයි – බන්දුල ගුණවර්ධන

බස් ගාස්තුවට වඩා තුනෙන් එකකට අඩුවෙන් දුම්රිය ගාස්තු පවත්වාගෙන යෑමට ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

2021 වසරේ දුම්රිය දෙපාර්තමේන්තුවේ මුළු ආදායම බිලියන 2.6 ක් බවත් ඉන් බිලියන 2.3ක් අතිකාල දීමනා සඳහාත් වැටුප් සඳහා බිලියන 7 ක් වැයවී ඇති බවත් මේ හේතුවෙන් පසුගිය වර්ෂවල රුපියල් බිලියන 10 ක පමණ අලාභයක් සිදුව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව නැති කිරීම සඳහා ඩිජිටල්කරණය කළ යුතු බවත් මාස තුනක් තුළ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම, ආසන වෙන්කිරීම ආදිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් සඳහන් කළා.

ගුවන් ගමන් ප්‍රමාදයක් නිසා කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට සිටි 48 කට යාමට නොහැකි වෙයි

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත් වී ඊයේ (23) දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් යාමට සිටි 48 දෙනෙකුට විදේශගත වීමේ අවස්ථාව අහිමි වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

ගුවන් යානයේ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් ගුවන් යානයට ඊයේ (23) රාත්‍රී 8.00 ට නියමිත පරිදි පිටත්ව යාමට නොහැකි බවට ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබුණා.

ඒ අනුව කොරියාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දැනුම්දීම අනුව එම පිරිස සඳහා නැවතත් ගුවන් ගමන් වෙන් කිරීමට සිදුවන බවයි මෙරට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා සඳහන් කළේ.

මෙලෙස ගුවන් ගමන ප්‍රමාදවීම තුළ එම පිරිසගේ රැකියා අවධානමකට පත්විය හැකි බවත්, කෙසේ නමුත් අදාළ අංශ සමඟ සාකච්ඡා කර ඔවුන්ට නව දිනයන් ලබා ගැනීමට කටයුතු කරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

හබරාදූවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

හබරාදූව – පොල්දූව පන්සල ආසන්නයේ දී සිදුවූ වෙඩි තැබීමකින් 38 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලීසිය පවසනවා.

අදාළ වෙඩි තැබීමෙන් ඔහුගේ බිරිඳ ද තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

එක්දින තරගාවලියකට සහභාගී වීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලිය තරග තුනකින් සමන්විත වන අතර දෙරට අතර පළමු ජාත්‍යන්තර එක්දින තරගය ජුනි දෙවැනිදා පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

දෙවැනි තරගය ජුනි 04 වනදා ද තෙවැනි සහ අවසාන තරගය ජූනි 07 වනදා ද පැවැත්වීමට නියමිත අතර තරග සියල්ලම හම්බන්තොටදී පැවැත්වීමට නියමිතයි.

රත්‍රං සමඟ අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාට මිලියන 7.5ක දඩයක් නියමකර මුදාහැරේ

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං සහ ස්මාට් දුරකථන සමග රේගු භාරයට ගෙන සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් හට රුපියල් මිලියන 7.5 ක දඩයක් නියම කර මුදා හැර තිබෙනවා.

ඒ අනුව ඔහු සන්තකයේ තිබූ රත්‍රං තොගය සහ ජංගම දුරකථන තොගය රාජසන්තක කිරීමට නියෝග කළ බවයි රේගු මාධ්‍ය ඒකකය සඳහන් ක‍ළේ.

අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා විසින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එනු ලැබූ රත්‍රං තොගයේ වටිනාකම රුපියල් මිලියන 74 ක් බවත් ජංගම දුරකථනවල වටිනාකම රුපියල් මිලියන 4.2 ක් බවයි රේගුව සඳහන් කළේ.

ඩුබායි රාජ්‍යයේ සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඊයේ (23) පෙරවරුවේ මෙරටට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් අදාල මන්ත්‍රීවරයා සිය භාරයට ගෙන තිබුණා.

ජනක රත්නායක ධූරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව අද පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම ධූරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද උදෑසන පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසන ප්‍රශ්නවලින් පසු විවාදය ආරම්භ වීමට නියමිතයි.

පසුව අද සවස ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

චෙන්නායි සුපර් කිංග්ස් IPL අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගයෙන් (Qualifier 1) ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරදා ලකුණු 15 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7 ක් දැවී ලකුණු 172 ක් රැස් කිරීමට සමත් වුණා.

චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් රුටුරාජ් ගයික්වාඩ් ලකුණු 60 ක්, ඩෙවෝන් කොන්වේ ලකුණු 40 ක්, රවීන්ද්‍ර ජඩේජා ලකුණු 22 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 157 ක් පමණයි.

ටයිටන්ස් ඉනිම වෙනුවෙන් ෂුබ්මාන් ගිල් ලකුණු 42 ක්, දසුන් ශානක ලකුණු 17 ක්, රෂීඩ් ඛාන් ලකුණු 30 ක් රැස් කිරීමට සමත් වුණා.

දිවයින පුරා හදිසි මෙහෙයුම් සිදු කරනවා – පොලීසිය

රට තුළ නීතිය සහ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවයින පුරා හදිසි මෙහෙයුම් සිදුකෙරෙන බව පොලීසිය පවසනවා.

දැනට දින කිහිපයකට පෙර දිවයිනම ආවරණය වන පරිදි විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

එම මෙහෙයුම දින 03ක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති අතර මෙම මෙහෙයුම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් 23,168 දෙනෙකු සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 531 දෙනෙකු සහභාගි වී ඇති බවයි සඳහන් වන්නේ.

මෙහිදී මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් 622 ක්, වරෙන්තුකරුවන් 1,662ක්, සැකපිට පුද්ගලයින් 1,516ක්, බීමත් රියදුරන් 732ක්, විවිධ වැරදි සම්බන්ධයෙන් 1,157ක් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන් සංඛ්‍යාව 5,689 ක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.