සුබසාධක ප්‍රතිලාභ ජූලි මස සිට සෘජුවම ප්‍රතිලාභියා​ගේ බැංකු ගිණුමට

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ක්‍රියාවට නංවන ලද “අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම මෙන්ම සමෘද්ධි සහ වැඩිහිටි ආධාර ඇතුළු දැනට රජය මගින් ලබා දෙන සුබසාධක මූල්‍යාධාර ජූලි මස සිට සෘජුවම ප්‍රතිලාභියාගේ බැංකු ගිණුමට බැර කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ අනුව සුබසාධක ප්‍රතිලාභීන් සිය දීමනා ලබා ගැනීමට යෑමේදී මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

එසේම බැංකු ගිණුම් නොමැති ප්‍රතිලාභීන්ට ද බැංකු ගිණුම් විවෘත කිරීමට ද අවශ්‍ය පියවර ගෙන ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න සඳහන් කළා.

LPL ක්‍රීඩක වෙන්දේසිය ජුනි 11 පැවැත්වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ක්‍රීඩක වෙන්දේසිය ජුනි 11 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ක්‍රීඩකයින් මිලදී ගැනීම සදහා එක් කණ්ඩායමකට අමෙරිකානු ඩොලර් මිලියනයක පමණ මුදලක් වියදම් කළ හැකි බවයි තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩංවෙල සඳහන් කළේ.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සෘජුව කණ්ඩායම් සමඟ ගිවිසුම්ගත වූ ක්‍රීඩකයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව Babar Azam, මතීෂ පතිරණ, චාමික කරුණාරත්න Colombo Strikes කණ්ඩායම සමඟ සෘජුව ගිවිසුම්ගත වී ඇති අතර David Miller, තිසර පෙරේරා, මහීෂ් තීක්ෂණ Jaffna Kings කණ්ඩායම සමඟ ගිවිසුම්ගතව තිබෙනවා.

එසේම Matthew Wade, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු Dambulla Aura කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී ඇති අතර Tabraiz Shamsi, වනිඳු හසරංග, ඇන්ජලෝ මැතිව්ස් Kandy Falcons සමඟ ගිවිසුම්ගතව ඇති බවයි සඳහන් වන්නේ.

Shakib Al Hasan, දසුන් ශානක, භානුක රාජපක්ෂ Galle Gladiators සමඟ ගිවිසුම්ගතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

උද්භිද උද්‍යාන සඳහා ඇතුලුවීමේ ගාස්තු ඉහළට

ජුලි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට උද්භිද උද්‍යාන සඳහා ඇතුලුවීමේ ගාස්තු ඉහළ දමමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලාංකික වැඩිහිටියන් සහ අවුරුදු 12 ට වැඩි ළමුන් සඳහා ගාස්තුව රුපියල් 200 ක් දක්වා ඉහළ දමා ඇති අතර වයස අවුරුදු 12 ට අඩු ළමුන් සහ පාසල් සිසුන් සඳහා ගාස්තුව රුපියල් 30 ක් සහ අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් සඳහා රුපියල් 50 ක් ලෙස ගාස්තු ඉහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.

එසේම විදේශික වැඩිහිටියන් සහ අවුරුදු 12 ට වැඩි ළමුන් සඳහා ගාස්තුව රුපියල් 3000 ක් දක්වා ඉහළ දමා ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

IMF පළමු සමාලෝචනය එළැඹෙන සැප්තැම්බර් මසදී

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති විස්තීර්ණ ණය පහසුකමට අදාළ පළමු සමාලෝචනය එළඹෙන සැප්තැම්බර් මාසයේදී සිදුකරන බව මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ආර්ථිකයේ යම් යම් සුභදායි වෙනස්කම් සිදුවුවද සමස්ත සාර්ව ආර්ථික සහ ප්‍රතිපත්තිමය පරිසරය අභියෝගාත්මකව පවතින බවයි Peter Breuer සහ Masahiro Nozaki නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

පළමු සමාලෝචනය වනවිට වැඩසටහන් ඉලක්කවලට අනුකූලව ණයහිමියන් සමඟ කාලානුරූපී ප්‍රතිව්‍යුහගත ගිවිසුම් සාක්ෂාත් කර ගැනීම ණය තිරසාරභාවය ප්‍රතිස්ථාපනය කිරීම අත්‍යවශ්‍ය බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩඒම මෙන්ම මහ බැංකු ස්වාධීනත්වය සහතික කිරීම, පාලනය වැඩිදියුණු කිරීම සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම ඇතුළුව ප්‍රතිසංස්කරණ පවත්වා ගැනීම සහ වැඩසටහන් බැඳීම් කාලෝචිත ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම අත්‍යාවශ්‍ය වන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ වට​යේ කාලසටහන නිවේදනය කෙරේ

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී කණ්ඩායම් කාණ්ඩගත කර ඇති ආකාරය හා තරග කාලසටහන නිවේදනය කර තිබෙනවා.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජූනි 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා සිම්බාබ්වේ හි දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව එහි B කාණ්ඩයෙන් තරග වදින අතර, දෙවරක් ලෝක ශූරයින් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම A කාණ්ඩයෙන් තරග කිරීමට නියමිතයි.

මූලික වටයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ අයර්ලන්තය, ස්කොට්ලන්තය, ඕමානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.

A කාණ්ඩය යටතේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම, සත්කාරක සිම්බාබ්වේ, නෙදර්ලන්තය, නේපාලය හා අමෙරිකා එක්සත් ජනපදය තරග වැදීමට නියමිතයි.

නව විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම ජුනි 01 වනදා ආරම්භ වෙයි

නව විදුලි ගාස්තු ජුනි මස 30 වනදා ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජිත ගාස්තු සංශෝධනය පිළිබඳව මහජනතාවගේ දැනගැනීම පිණිස ජුනි මස 01 වනදා ප්‍රසිද්ධ කිරීමට පියවර ගන්නා බවයි එහි සභාපති ජනක රත්නායක සඳහන් කළේ.

ඒ අනුව ජුනි 01 වනදා සිට ජුනි 20 වනදා දක්වා මහජනතාවට සිය අදහස් හා යෝජනා ලිඛිතව ඉදිරිපත් කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අළුත් කැසිනෝ බලපත්‍ර 7ක් ලබාදෙන්න යනවා – පාඨලී චම්පික

මෙරටට නව කැසිනෝ බලපත්‍ර 7 ක් ලබාදීමට සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

ඒ අනුව මේ වනවිට පවත්වාගෙන යන කැසිනෝ 4 ට අමතරව මෙම නව බලපත්‍ර ලබාදීමට සූදානම් වන බවයි අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පවතින කැසිනෝ 4 නියාමනය සඳහා මෙරට තුළ නිසි ක්‍රමවේදයක් නොමැති බවත් ආදායම් එකතු කිරීමට හෝ නිසි ක්‍රමවේදයක් නොමැතිව නව බලපත්‍ර ලබාදීම ප්‍රයෝජනයක් නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් සඳහන් කළේ.

එක්ස්ප්‍රස් පර්ල් නඩුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියට අදාළව ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් එම මෝසම ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ.

මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් සිදු වූ පරිසර හානිය පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙසත් එම පෙත්සම පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියම කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එම මෝසම හෙට (24) දින සලකා බැලීම සඳහා කැඳවීමට නියමිතයි.

Whatsapp පණිවිඩ සංස්කරණය කිරීමේ හැකියාව ලබාදෙයි

Whatsapp සඳහා නව යාවත්කාලීන කිරීමක් Meta සමාගම විසින් හඳුන්වාදී තිබෙනවා.

ඒ අනුව පරිශීලකයෙකු විසින් යොමුකරන Whatsapp පණිවිඩයක් විනාඩි 15 ක් තුළ සංස්කරණය කිරීමේ හැකියාව ලබාදී ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ.

49bf066c58d3b8a6ced24d0ab12fb503

චීනයෙන් ප්‍රදානය කළ භූමිතෙල් ධීවර ජනතාවට බෙදාදීම අද සිදුකෙරේ

චීන රජය මෙරටට ප්‍රදානය කළ භූමිතෙල් ධීවර ජනතාව වෙත නොමිලේ බෙදාදීම අද (23) ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද (23) උදෑසන පානදුර ධීවර වරායේදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කිරීමට නියමිතයි.

මෙහිදී භූමිතෙල් ඉන්ධන ලෙස භාවිත කරන බෝට්ටු 26000කට භූමිතෙල් ලීටර් 150 බැගින් බෙදා දීමට නියමිත බවයි සඳහන් වන්නේ.