පොසොන් පොහොයට සමගාමීව පැවැත්වෙන දන්සැල් ලියාපදිංචිය ඇරඹේ

පොසොන් පොහොය දිනයට සමගාමීව පැවැත්වෙන දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

දන්සැල් පැවැත්වීමට බලාපොරොත්තු වන පිරිස් තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් සියලු විස්තර ලබාදී ලියාපදිංචි වීමේ හැකියාව පවතින බවයි එහි උප සභාපති කේ.ඒ.පී. බොරලැස්ස සඳහන් කළේ.

ඉන් පසු අදාළ දන්සැල්වල සංවිධායක කමිටු ගෙන්වා දන්සැල පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබාදෙනු ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වසරේ සිව්වන කාර්තුව වන විට උද්ධමනය තනි අගයකට පැමිණෙන බවට සහතික කරනවා – මහ බැංකු අධිපති

උද්ධමනය පාලනයකින් තොරව ඉහළ යාම වැළැක්වීම සඳහා තීරණාත්මක පියවර රැසක් ගැනීමට සිදුවූ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව 70% ක් දක්වා උපරිමයකට ගිය උද්ධමනය මේ වන විට 30% මට්ටමට පැමිණ ඇති බවත් මෙම වසරේ සිව්වන කාර්තුව හෝ ඊට පෙර උද්ධමනය තනි අගයකට පැමිණෙන බවට සහතික කරන බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්න්දලාල් වීරසිංහ මේ බව සඳහන් කළා.

ජනපති රනිල් වික්‍රමසිංහ Nikkei සංසදය අමතයි

ගෝලීය ජනගහනයෙන් 60%කගේ නිවහන ලෙස සහ ගෝලීය වර්ධනයට ප්‍රධාන දායකත්වය සපයන ලෝකයේ විශාලතම ආර්ථිකය ලෙස ආසියාවේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබෙනවා.

ටෝකියෝ හි පැවති ආසියාවේ අනාගතය පිළිබඳ Nikkei සංසදය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර තිබෙනවා.

චීනයේ ප්‍රකෘතිමත්වීම, ඉන්දියාවේ දේශීය ඉල්ලුම සහ ජපානය සහ දකුණු කොරියාව වැනි දියුණු ආර්ථිකයන්හි දායකත්වයේ සහායෙන් කලාපයේ අඛණ්ඩ වර්ධනය සඳහා ඇති හැකියාවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජනපති හා යොෂිහිඩේ සුගා අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර ජපානයේදී හිටපු අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා හමුවී තිබෙනවා.

එහිදී රටේ ආර්ථික ප්‍රකෘතිය පිළිබඳව කරුණු දැක්වූ ජනාධිපතිවරයා යළි මෙරටට පැමිණ ආයෝජනය කරන ලෙස ජපානයට ආරාධනා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් රත්‍රං තොගය මගේ නෙ‍ාවෙයි – අලි සබ්රි රහීම්

අත්අඩංගුවට ගත් රත්‍රං තොගය තමාගේ නොවන බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් පවසනවා.

ඒ අනුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සඳහන් කළේ, එය තමාගේ මිතුරෙකුට අයත් බවයි.

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං සහ ස්මාට් දුරකථන සමග රේගු භාරයට ගෙන සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් හට රුපියල් මිලියන 7.5 ක දඩයක් නියම කර ඊයේ (24) මුදා හැරුණා.

දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය අද යළි ගොඩ ගැනේ

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය අද (25) දිනයේ යළි ගොඩ ගැනීමට නියමිතව තිබෙනවා.

මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව දේහය ගොඩ ගැනීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ඒ අනුව දේහය අද දිනයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ ගොඩ ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව සඳහන් කළා.

ජනක රත්නායක ඉවත් කිරීමට අදාළ ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ වෙයි

ජනක රත්නායක මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවට අදාළ ඡන්ද විමසීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා

ඒ අනුව තව සුළු මොහොතකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කිරීමට නියමිතයි.

තැපෑලෙන් පැමිණි කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 3 ක් සොයා ගැනේ

ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් විසින් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

තැපැල් හුවමාරුව හරහා එවන ලද පාර්සල් පරීක්ෂා කිරීම්වලදී ඒ තුළ තිබී “කුෂ්” නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3.475 ක් මෙලෙස සොයාගෙන ඇති බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ.

එහි මුළු වටිනාකම රුපියල් මිලියන 34.75 වන අතර පසුගිය කාලය තුළදී අමෙරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව යන රටවල්වලින් තැපැල් මගින් බොරලැස්ගමුව, වැල්ලවත්ත, මිනුවන්ගොඩ, වැලිසර, නුවරඑළිය සහ තලංගම යන ප්‍රදේශවල ලිපිනයන් වෙත පාර්සල් පැමිණ තිබූ බවයි සඳහන් වන්නේ.

කෙසේ නමුත් එම පාර්සල් ලබා ගැනීමට ඒවායේ අයිතිකරුවන් ඉදිරිපත් නොවීම හේතුවෙන් පසුගිය 16 වනදා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සහ තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියේ දී ඒවා රේගු නිලධාරීන් විසින් පරික්ෂා කර තිබෙනවා.

වැඩිදුර විමර්ශන සඳහා මෙම මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී ඇති බවයි සඳහන් වන්නේ.

ජුලි 15 සිට පාසල් බෑග් සහ සපත්තු මිල පහළට

ජුලි මස 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල අඩු කිරීමට නිෂ්පාදකයින් එකඟතාවය පළකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව ඩොලරය අවප්‍රමාණය වීමට සාපේක්ෂව අමුද්‍රව්‍ය මිල පහළ යෑමේ වාසිය පාරිභෝගිකයින්ට ලබාදීමේ අරමුණින් 10% කින් එම මිල සංශෝධනය සිදුකිරීමට ඔවුන් එකඟතාවය පළකර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල රුපියල් 350ත් 450ත් අතර මිලකින් පහළ යනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ 6ක මිල පහළ දමයි

අද (24) දින සිට ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල පහත දමා ඇති බව එම සමාගම නිවේදනය කරනවා.

ඒ අනුව කිරිපිටි (ලංකා සතොස) ග්‍රෑම් 400 පැකට් එකක මිල රුපියල් 50කින් අඩුකර තිබෙන අතර එහි නව මිල රුපියල් 1,030 ක් බවයි සඳහන් වන්නේ.

මීට අමතරව වියළි මිරිස්, රතු පරිප්පු, සෝයා මීට් (තොග), ලොකු ලූනු, සුදු සීනි මිල පහත දමා ඇති බවයි සඳහන් වන්නේ.

අඩු කළ මිල ගණන් සහ නව මිල පහතින්.

* කිරිපිටි (ලංකා සතොස) 400g – රු.50 කින් (නව මිල රු.1030)
* වියළි මිරිස් 1 KG – රු.45 කින් (නව මිල රු.1350)
* රතු පරිප්පු 1KG – රු.10 කින් (නව මිල රු.325)
* සෝයා මීට් (තොග) 1KG – රු.10 කින් (නව මිල රු.660)
* ලොකු ලූනු 1KG – රු.06 කින් (නව මිල රු.129)
* සුදු සීනි 1KG – රු.04 කින් (නව මිල රු.239)