ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර මිලියන 10කට ආසන්න තොගයක් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සතුව පවතින බව එහි සභාපති ආසිරි වලිසුන්දර පවසනවා. ඉකුත් සතියේ ඉන්දියාවේ සංචාරයක නිරත වූ සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ගොවිපළ කිහිපයක් පරීක්ෂාවටද ලක් කළ බවත් ඔවුන්ගේ වාර්තාව පසුගියදා ලබාදුන් බවයි ඔහු සඳහන් කරන්නේ. ඒ අනුව එම ගොවිපළවලින් බිත්තර සෞඛ්‍ය ආරක්ෂිතව අපනයනය කරන බවට සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වාර්තාවක් මගින් පෙන්වාදී ඇති බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර වැඩිදුරටත් සඳහන් කළේ.
Author: Supun
නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට
පසුගියදා කොළඹ පැවති උත්සවයකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රටින් පිටවීමට උත්සාහ කිරීමේදී ඇය ඊයේ (27) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ.
දිනේෂ් ෂාෆ්ටර් මවගෙන් DNA වාර්තා කැඳවන ලෙසට නියෝග
අභිරහස් ලෙස මිය ගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය පිළිබඳව දෙවන පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (26) දිනයේ කරාපිටිය රෝහලේදී සිදුකළා.
එහිදී අදාළ පරික්ෂණ සඳහා ඔහුගේ මවගෙන් DNA සම්පාල වාර්තාවක් කැඳවන ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කොට තිබෙනවා.
ඒ අනුව දිනේෂ් ෂාෆ්ටර්ගේ මව විසින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත DNA සාම්පල ලබාදීමට කටයුතු කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වනවා.
කටුනායක ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයේ ආරක්ෂාව තර කිරීමට පියවර
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ප්‍රභූ මගී පර්යන්තයේ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලැබී ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
ඒ අනුව අදාළ නිරික්ෂණ කටයුතු සඳහා දැනට යොදවා ඇති නිලධාරීන් සංඛ්‍යාව වැඩි කිරීමටද මෙහිදී අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.
2021 සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
2021 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කොට තිබෙනවා.
ඒ අනුව නැවත සමීක්ෂණයක් සඳහා අයදුම් කළ අයට https://www.doenets.lk/examresults යන සබැඳියට පිවිසීමෙන් අදාළ ප්‍රතිඵල ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියේ.
2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 80,272 දෙනෙකු ප්‍රතිඵල නැවත සමීක්ෂණය කරන ලෙස අයදුම්පත් යොමු කොට තිබුණා.
අලි සබ්රි රහීම්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වෙන ලෙසට යෝජනාවක්
ඊයේ (26) පැවති පක්ෂ නායක රැස්වීමේ දී පුත්තලම් දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අලි සබ්රි රහීම් හට සිය කැමැත්තෙන් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වෙන ලෙසට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් වන අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් එය ස්ථිර කර ඇති බවත් සඳහන් වන අතර පාර්ලිමේන්තුවේ අනිකුත් මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව අදාළ යෝජනාව අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා වෙත ලබාදීමට නියමිත බවත් සඳහන්.
ඔහු පසුගියදා මෙරටට නීතිවිරෝධී ලෙස රත්‍රං, දුරකථන රැගෙන ඒමේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අතර පසුව රු. මිලියන 7.5 ක දඩ මුදලක් ගෙවීමෙන් පසු මුදාහැරීම යන කාරණය මුල් කරගෙන මෙම යෝජනාව ඉදිරිපත්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
IPL 2023: මුම්බායි ඉන්දියන්ස් පරදා ගුජරාට් ටයිටන්ස් අවසන් තරගයට
2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරඟය ඊයේ (26) පැවැත්වුණා.
එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 233ක් රැස් කළා. එහිදී ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ ශුබ්මාන් ගිල් ලකුණු 129ක් සහ සායි ශුදර්ශන් ලකුණු 43ක් රැස් කළා.
පන්දු යැවීමේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ආකාශ් මද්වාල් සහ චව්ලා කඩුල්ල බැගින් බිඳ දැම්මා.
පිළිතුරු ඉනිම දියත් කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 02ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකිවුණේ ලකුණු 171ක් පමණයි. එහිදී මුම්බායි ඉන්දියන් වෙනුවෙන් සූර්යකුමාර් යාදව් ලකුණු 61ක් සහ තිලක් වර්මා ලකුණු 43ක් රැස් කළා.
පන්දු යැවීමේ දී ගුජරාට් ටයිටන්ස් වෙනුවෙන් මෝහිත් ෂර්මා කඩුළු 05ක් බිඳ දැම්මා.
ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස් සමඟ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හෙට (27) ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් තරඟ සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.
කංසා වගා කිරීමට නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරනවා – දිලුම් අමුණුගම
ආයෝජන මණ්ඩලය (BOI) යටතේ ආයෝජකයෙකු සමඟ කංසා වගා කිරීමේ නියමු ව්‍යාපෘතියක් නුදුරේදීම ආරම්භ කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
මෑතකදී නිකුත් කළ විශේෂඥ කමිටු වාර්තාව මගින් ආයෝජන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අනුමැතිය ලබාදි ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.
ඒ සඳහා ආයෝජකයින් හා විශේෂඥයන් සමග සාකච්ඡා කරමින් සිටින බවද, අදාළ ආයෝජකයින් කංසා වැවීමට පමණක් නොව අවම නිෂ්පාදනයන් සැකසිය යුතු අතර එමඟින් රටට ආදායමක් උපයා ගත හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.
පුත්තලමේ පාසලක ගුරුවරයෙකුට පහර දුන් සිසුන්ට ඇප
පුත්තලම ප්‍රදේශයේ පාසලක විනය භාර ගුරුවරයාට පහර දුන් සිසුන් 21 දෙනෙකු අද (26) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප කොන්දේසි මත මුදාහැර තිබෙනවා.
පසුගිය 23 වනදා මෙම පහරදීම සිදුව තිබූ අතර එහිදී සිදුවීම සම්බන්ධයෙන් සිසුන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
එමෙන්ම ඊයේ (25) දිනයේ තවත් සිසුන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙම සිසුන් පිරිස මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් පිරිසක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
ජෙරම් ප්‍රනාන්දුගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
තමාව නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බව දන්වමින් ජෙරම් ප්‍රනාන්දු විසින් සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තා වනවා.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, එහි අධ්‍යක්ෂවරයා සහ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා නම් කොට තිබෙනවා.
එමෙන්ම ඔහු සිය පෙත්සම හරහා තමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
