අද ඩොලරයේ විකුණුම් මිල රු.308 යි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (26) සුළු පහළ යෑමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 295.62 ක් ලෙස හා විකුණුම් මිල රු. 308.54 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

ලබන මාසයේ සිට ඉන්ධන සලාකය ඉහළ දමනවා – කංචන විජේසේකර

එළඹෙන මාසයේ ඉන්ධන මිල සංශෝධනයත් සමඟ දැනට ලබාදී ඇති ඉන්ධන සලාකය ඉහළ දැමීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය, වාණිජ සහ අලෙවි අංශ සමග ඊයේ (25) පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් පවසා සිටියේ.

047543d40af80b3eefe822ba9d3a37f7

තෙවන කන්නයක් වගා කරන්න ලොකු උත්සාහයක් ගන්නවා – මහින්ද අමරවීර

රටේ සියලු ‍ගොවි ජනතාවගෙන් කඩිනමින් නැවත වගා කටයුතු ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඉල්ලීමක් කර සිටිනවා.

අමාත්‍යවරයා කියා සිටියේ මෙවර යල සහ මහ කන්නයට අමතරව තෙවන කන්නයක් වගා කිරීමට උත්සාහයක් දරන බවයි.

ජලාශවල ප්‍රමාණවත් තරම් ජලය ඇති බැවින් යල කන්නයෙන් පසුව ඊළඟ කන්නයට පෙර ගොවීන්ට අතිරේක ආදායමක් ලබාගැනීමට ඉන් හැකියාව ලැබෙනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ව්‍යාපාරික දිනේශ් ෂාෆ්ටර්ගේ සිරුර පිළිබඳව දෙවන පශ්චාත් මරණ පරික්ෂණය අද

පංච පුද්ගල අධිකරණ විශේෂඥ වෛද්‍ය කමිටුවක් ඉදිරියේ දී ව්‍යාපාරික දිනේශ් ෂාෆ්ටර්ගේ සිරුර පිළිබඳව දෙවන පශ්චාත් මරණ පරික්ෂණය අද (26) දි‍නයේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

කරාපිටිය ශික්ෂණ රෝහලේදී අදාළ පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරීමට නියමිත අතර ඒ සඳහා ඔහුගේ සිරුර ඊයේ (25) දිනයේ දී යළි ගොඩගැනීමට ද කටයුතු කළා.

බලපිටිය අධිකරණය ඉදිරිපිටදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

අම්බලන්ගොඩ කළාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්තව සේවයේ නිරතව සිටි ගුරුවරයෙකු සිය යතුරුපැදි‌යෙන් ගමන් කරමින් සිටියදී බලපිටිය අධිකරණය ඉදිරිපිට දී වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

ඒ අනුව වෙඩි ප්‍රහාරයට ලක්වූ අදාළ ගුරුවරයා ප්‍රතිකාර සඳහා මේ වන විට රෝහල් ගතකර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

රජයට මිතුරු ව්‍යාපාරිකයින්ගේ ණය කපා හරින බවට පළවෙන වාර්තා බොරු – රංජිත් සියඹලාපිටිය

රජයට පක්ෂපාතී ව්‍යාපාරිකයින් 10 දෙනෙකුගේ ණය බොල්ණය ලෙස කපා හරින බවට පළ වූ වාර්තා අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මේ පිළිබඳව රාජ්‍ය බැංකු සහ මහ භාණ්ඩාගාරය අමතා තමා කරුණු විමසීමක් ද කළ බව කියා සිටි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ‍එලෙස ණය කපා දැමීම භයානක ක්‍රියාවක් බවත්, එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කිසිදු අදහසක් නොමැති බවයි.

සමස්ථ ගණුදෙනුකරුවන් බැංකු ණයෙන් පීඩාවට පත්ව සිටින අවස්ථාවක කිහිප දෙනෙකුගේ පමණක් ණය කපා දමන බවට පළවන වාර්තා රටේ අනෙකුත් ගණුදෙනුකරුවන්ට පීඩාවක් ගෙන දෙන පුවතක් බවට පවසන අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේ දී හෝ එලෙස ණය කපා දැමීමට අපේක්ෂා නොකරන බවයි.

නව කම්කරු නීති පද්ධතිය ජුනි මාසය මුලදී කෙටුම්පත් කරනවා – මනූෂ නානායක්කා​ර

නව කම්කරු නීති පද්ධතිය ජුනි මාසය මුල වන විට කෙටුම්පත් කිරීමට අපේක්ෂා කරන බවත්, එම දල කෙටුම්පත ආයෝජන කලාප ද ඇතුළුව සියලුම ක්ෂේත්‍රවල වැඩ කරන ජනතාව වෙත ඉදිරිපත් කර ඔවුන්ගේ අනුමැතිය ලබාගැනීමට අපේක්ෂා කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ නව කම්කරු නීතිය පිළිබඳව සමාජයේ සෑම ස්ථරයකම කතාබහක් ඇති විය යුතු බවයි.

එහිදී සමාජයේ සෑම ස්ථරයකම මෙම කම්කරු නීතිය පිළිබඳව යෝජනා, චෝදනා, විරෝධතා සහ සැක සංකා ඉදිරිපත් විය යුතු බව පෙන්වා දෙන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ එමඟින් අදාළ කටයුත්ත වඩාත් ශක්තිමත්ව කරගෙන යා හැකි බවයි.

අද ඩොලරයේ විකුණුම් මිල රු. 310 දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (25) සුළු පහළ යෑමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.297.60 ක් ලෙස හා විකුණුම් මිල රු.310.95 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

SAVONA තරගාවලියේදී යුපුන් දෙවන ස්ථානයට

International Meeting Citta’ Di Savona 2023 අවසන් තරගයෙන් දෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්වී තිබෙනවා.

අවසන් තරගයේදී ඔහු වාර්තා කළ කාලය තප්පර 10.01 ක් බවයි සඳහන් වන්නේ.

අවසන් තරඟයට සුදුසුකම් ලැබීම සඳහා පැවති පුර්ව තරග වටයේදී ද තත්පර 10.04 කින් තරගය නිමා කරමින් ⁣දෙවන ස්ථානය ලබාගැනීමටද යුපුන් අබේකොන් සමත් වුණා.

මුම්බායි කණ්ඩායම Qualifier 2 තරගයට සුදුසුකම් ලබයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Eliminator තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරදා ලකුණු 81 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් තරගාවලියේ Qualifier 2 තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 182 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් කණ්ඩායමට පන්දුවාර 16.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 101 ක් පමණයි.

ඒ අනුව එළඹෙන 26 වැනිදා අහ්මදාබාද් හීදී පැවැත්වෙන අවසන් වටයේ තෙවැනි තරගයේ දී මුබ්බායි කණ්ඩායම, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.

එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව අවසන් මහා තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.