15 හැවිරිදි දැරියක් අපයෝජන​ය කිරීම සම්බන්ධයෙන් සිසුන් පිරිසක් අත්අඩංගුවට

15 හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියක සමූහ දූෂණයට ලක්කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් 7 ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම දැරියගේ පෙම්වතා බව කියන පාසල් සිසුවා ඇතුළු පාසල් සිසුන් 5 ක් හා තවත් දෙදෙනෙකු බවයි සඳහන් වෙන්නේ.

සමූහ දූෂණයට ලක් වූ බව කියන පාසල් දැරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් කිරීමට කටයුතු කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හෝමාගම ප්‍රදේශයේම පාසල්වල ඉගෙනුම ලබන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක් වන අතර පාසල් සිසුන් පස්දෙනා අවුරුදු 15 ත් 16 ත් අතර වයස්වල සිටින අතර, අනෙක් දෙදෙනා අවුරුදු 17 ත් 19 ත් අතර වන බවයි වාර්තා වන්නේ.

ට්‍රම්ප්ගේ නව තීරු බදු හේතුවෙන් ආර්ථිකයට සිදුවන බලපෑම තවදුරටත් අධ්‍යයනය කරමින් සිටිනවා – IMF

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවනු ලැබූ තීරු බදු හේතුවෙන් ඇති වන සාර්ව ආර්ථික බලපෑම පිළිබඳ තවමත් අධ්‍යයනය කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝජියේවා පවසනවා.

ගෝලීය වෙළෙඳාම සම්බන්ධයෙන් ඇතිවී තිබෙන උණුසුම සමනය කරමින්, අවිනිශ්චිතතාවය අවම කරන ලෙසට, අමෙරිකා එක්සත් ජනපදයෙන් සහ එහි සියලු වෙළෙඳ පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටින බවයි ප්‍රකාශයක් සිදුකරමින් ඇය සඳහන් කරන්නේ.

අමෙරිකානු තීරු බදු පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචනය මේ මස අවසානයේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු වසන්ත රැස්වීමේදී නිකුත් කරන බවද ඇය පවසා සිටියා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංශෝධිත වෙළඳ ප්‍රතිපත්තිය යටතේ එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට 44% ක තීරු බදු පැනවීම සිදුකර තිබෙනවා.

ශ්‍රී ලංකාවට නවීන පහසුකම් සහිත ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගනයක්

ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සභාපති ෂෙයික් සල්මන් බින් එබ්‍රහිම් අල් කලීෆා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ හා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න අතර සාකච්ඡාවක් ඊයේ (03) පවත්වා තිබෙනවා.

බොහෝ ආසියානු රටවල් ආර්ථිකය හමුවේ දූෂණයට ලක්ව ඇති නමුත්, වත්මන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සමඟ ශ්‍රී ලංකාව රටක් ලෙස ඉදිරියට ගමන් කරමින් පවතින බව ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සභාපතිවරයා මෙහිදී පවසා ඇති බවයි ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කළේ.

පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය උදෙසා, ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ සම්බන්ධව, නවීන පහසුකම් සහිත ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගනයක් මෙරටට ලබා දීමට කටයුතු කරන බවට ඔහු සඳහන් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය ඉදිරි සැලසුම් පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබෙනවා.

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට අද (04) දින සිට ලබා ගත හැකි බවයි එම ආයතනය සඳහන් කළේ.

දුඹුරු සීනි, රතු පරිප්පු, ටින් මාලු, ආනයනික නාඩු සහල්, පාන් පිටි, රතු කැකුළු සහල් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල මෙලෙස අඩු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

news images

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව, පසුගිය පැය 24 තුළ පැමිණිලි 43ක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඊයේ (03) දිනයේ පමණක් පැමිණිලි 71ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව, මේ දක්වා ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 527ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.

ඉන් පැමිණිලි 492ක් ලැබී ඇත්තේ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළව වන අතර, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 04ක් ලැබී ඇති බවද සඳහන්.

ලැබී ඇති පැමිණිලි 527 න් 482 ක් මේ වන විට විසඳා ඇති බවත්, සෙසු පැමිණිලි 45 සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

‍අදාළ නිවේදනය පහතින්.

news images

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය හේතුවෙන් ක්‍රියාත්මක කරන රථවාහන සැලැස්ම ගැන දැනුම්දීමක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංචාරය හේතුවෙන් කොළඹ සහ ප්‍රදේශ කිහිපයක සිදුකරන විශේෂ රථවාහන සැලැස්ම පිළිබඳ පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ පැමිණීම හේතුවෙන් අද සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය හා බේස්ලයින් මාර්ගය අවස්ථා කිහිපයකදී වසා තැබීමට කටයුතු කරන බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම කාලසීමාව තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණෙන තැනැත්තන්ට, මෙම මාර්ග වසා තැබීම පිළිබඳ අවධානය යොමු කරමින්, තමන්ගේ සංචාරය සැලසුම් කරගන්නා ලෙසයි පොලීසිය ඉල්ලා සිටින්නේ.

එසේම හෙට (05) ගාලු මුවදොර, නිදහස් චතුරස්‍රය සහ බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රය යන ප්‍රදේශයන්හි මාර්ග ද අවස්ථා කිහිපයකදී වසා තැබෙන අතර, ඒ හේතුවෙන් සිදුවන අපහසුතාවය අවම කර ගැනීම සඳහා රියැදුරන් විකල්ප මාර්ග වෙත යොමු කිරීමට රථවාහන නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙන බවයි සඳහන් වන්නේ.

එසේම එළඹෙන 06 වැනිදා පෙ.ව. 7.30 – 10.30 අතර කාලයේ අනුරාධපුර නගරය, ජය ශ්‍රී මහ බෝධිය සහ දුම්රියපොළ ආශ්‍රිතව ප්‍රධාන මාර්ග වරින්වර වසා තැබීමට කටයුතු කරන බවත්, එදින පූජා භූමිය වෙත පැමිණෙන බැතිමතුන්ට අපහසුතාවයකින් තොරව තම කටයුතු සිදුකර ගැනීම සඳහා විකල්ප මාර්ග වෙත යොමුකිරීම රථවාහන හසුරවන නිලධාරින් විසින් අවස්ථානුකූලව සිදු කරන බවයි වැඩිදුරත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ ඝාතනයක්

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ රැඳවියෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ ශිවා නමැති රැඳවියෙකු වන අතර ඔහුගේ සිරුරේ ස්ථාන 11ක පමණ උල් ආයුධයකින් ඇනීමෙන් ඇතිවූ තුවාල දක්නට ඇති බවයි වාර්තා වෙන්නේ.

රිමාන්ඩ් භාරයේ සිටි රැඳවියෙකු මෙලෙස ඝාතනය වී ඇති අතර සිරදඬුවම් විඳින රැඳවියෙකු විසින් ඝාතනය සිදුකර ඇති බවට වන සැකය මත විමර්ශන සිදු කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

රාජාංගණයේ සද්ධාරතන හිමියන්ව සංඝභාවයෙන් නෙරපයි

පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමිව සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව තීරණය කර තිබෙනවා.

පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි පිළිබඳව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව සොයාබැලීමක් සිදුකර ඇති අතර ඒ අනුව මෙම තීරණය ගෙන ඇති බව රාමඤ්ඤ මහා නිකාය සඳහන් කළා.

උන්වහන්සේ පවත්වාගෙන ගිය Youtube නාලිකාවක් තුළින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශ පිළිබඳව පසුගිය සමයේ පාර්ශව රැසකගේ විවේචනයට ලක්ව තිබුණා.

අවුරුද්දට ගමට යන්න ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා 8 වනදා සිට ආරම්භ වෙයි

එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා ලබන 08 වැනිදා සිට ක්‍රියාත්මක බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්‍රසන්න සඳහන් කළේ ඒ සඳහා අතිරේක බස් රථ 500ක් යොදා ගන්නා බවත් කොළඹ, කොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිට අතිරේක බස් ගමන් වාර ධාවනයට එක් කරන බවයි.

සභාපතිවරයා සඳහන් කළේ උත්සව සමයේ විශේෂ ප්‍රවාහන සේවා ලබන 20 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි.

ගම්බිම් බලා යන ජනතාවට ලබන 10 වැනිදා සිට අතිරේක දුම්රිය ගමන් වාර 40ක් පමණ ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර කොළඹ, කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල , බෙලිඅත්ත, ත්‍රිකුණාමලය, අනුරාධපුරය ඇතුළු ගමනාන්ත කිහිපයක් සඳහා එම දුම්රිය ගමන් වාර යොදවන බවයි වැඩිදුරටත් සඳහන් කළේ.