ආසියානු කුසලානය පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමේ සූදානමක්

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය රටවල් දෙකකදී පැවැත්වීමට අදාළව පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ දෙමුහුන් යෝජනාවට ආසියානු ක්‍රිකට් කවුන්සලයේ අනුමැතිය හිමි වීමට නියමිතව ඇති බව espncricinfo වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

තරගාවලියට අයත් තරග 13 න් තරග 4 ක් හෝ 5 ක් පාකිස්තානයේ දී පැවැත්වීමට යෝජනා කර ඇති අතර ඉන්දියාව හා පාකිස්තානය ක්‍රීඩා කරන සියලු තරග ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවහොත් එම තරගය ද ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත අතර මෙම සති අන්තයෙන් පසුව මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් ආසියානු ක්‍රිකට් කවුන්සලයෙන් ප්‍රකාශයට පත් කරනු ඇති බව ද espncricinfo වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සැප්තැම්බර් 1-17 දක්වා ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට මේ වන විට සැලසුම් කර තිබෙනවා.

හිඟයකින් තොරව ඉන්ධන ලබාගැනීමේ හැකියාව පවතිනවා – කංචන

කිසිඳු හිඟයකින් තොරව දිවයින පුරා පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගැනීමේ හැකියාව පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව මේ වන විට දිවයින පුරා සියලු පිරවුම්හල්වලට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග නිකුත් කර ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එසේම පසුගිය දින 10 තුළ පිරවුම්හල් සඳහා ඉන්ධන ඇණවුම් බෙදාහරින ලද ආකාරය පිළිබඳව වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

අදාළ Twitter පණිවිඩය පහතින්.

648571dde3be1

පොලීසියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබයි

අක්මීමන ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් සැකකරුවෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව ඊයේ (10) රාත්‍රියේ ජංගම යතුරුපැදි මුර සංචාරයේ නිරත අක්මීමන පොලීසියේ නිලධාරීන් දෙදෙනකු විසින් පුද්ගලයින් දෙදෙනකු පරික්ෂා කිරීමට යාමේදී එක් අයෙක් අත් බෝම්බයක් ද තිබී ඇති අතර ඔහු සමඟ සිදුවූ පොර බැදීමකදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එහිදී අනෙක් සැකකරු පළාගොස් ඇති අතර පසුව ඔහුවද අත්ඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබූ T56 වර්ගයේ උණ්ඩ 105 ක් ද සොයාගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ආනයනකරුවන් කියන විදියට ජංගම දුරකථන මිල අඩු කරන්න බැහැ – කොමියුනිකේෂන් හිමිකරුවන්

ජංගම දුරකථන මිල 20% කින් අඩු කළ හැකි බවට ඇතැම් සංගම් පැවසුව ද එම සහනය මේ මොහොතේ පාරිභෝගිකයින්ට ලබාදීම අපහසු බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව පවතින තොග වැඩි මිලට ලබාගත් ඒවා බවත් තවමත් කිසිඳු දෙයක් අඩු මිලකට නොලැබෙන බවයි එම සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කළේ.

ඒ අනුව මිල අඩු කිරීමක් සිදුකළ නොහැකි බවයි සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ විකුණුම්කරුවන්ගේ සංගමය පසුගියදා සඳහන් කළේ.

භාණ්ඩ වර්ග 300 ක ආනයන සීමා ලිහිල් කෙරේ

ආනයනික භාණ්ඩ 300ක පමණ ප්‍රමාණයක ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

HS286 කාණ්ඩය යටතේ පවතින භාණ්ඩ සඳහා මෙම ආනයන සීමා ලිහිල් කිරීම සිදුකර ඇති බවත් 2023 ජූනි 09 දින සිට මෙය බලපැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ආනයනික සීමා ලිහිල් කළ භාණ්ඩ අතරට ආහාර ද්‍රව්‍ය, නානකාමර උපාංග, ඉදිකිරීම් කර්මාන්තය ආශ්‍රිත ද්‍රව්‍ය සහ විදුලි උපකරණ ඇතුළත් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

https://bit.ly/3MY7t05

කුකුළු මස් සහ බිත්තර මිල අඩු කිරීමට ඉදිරියේදී නීතිරීති පැනවීමට පියවර ගන්නවා – කෘෂිකර්ම ඇමති

කුකුළු මස් සහ බිත්තර අඩු මිලකට ජනතාවට ලබාදීම සඳහා ඉදිරියේදී නීතිරීති පැනවීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඒ අනුව කුකුළු මස් හා බිත්තර කර්මාන්තකරුවන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මාළු මිල ඉහළ යාම හේතුවෙන් කුකුළු මස් සඳහා විශාල ඉල්ලුමක් පැවතීම හේතුවෙන් කුකුළු මස් මිල ඉහළ යාමට බලපා ඇති බවත් මේ හේතුවෙන් ව්‍යාපාරිකයන් අනිසි ලාභයක් ලබන ආකාරයක් දක්නට ලැබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
එම තත්ත්වය පාලනය කිරීම සඳහා වෙළඳ අමාත්‍යංශය සමඟ එක්ව ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.

මුල්ලේරියාව දරුවාගේ මරණය සම්බන්ධයෙන් සීයා අත්අඩංගුවට

මුල්ලේරියාව, හල්බරාව ප්‍රදේශයේ දී සිදුවූ පස්හැවිරිදි පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් එම දරුවාගේ සීයාද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඔහු අද (11) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර එම ස්ථානයේ තණකොල කපමින් සිටි පුද්ගලයාද අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.

පාසල් යළි සඳුදා ආරම්භ වෙයි

2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ තෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර කර තිබෙනවා.
ඒ අනුව, රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර 2023.06.12 වන සඳුදා දින ආරම්භ කිරීමට නියමිතයි.

ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට සඳහන් කළ කාරක සභා වාර්තාව ගැන රජයෙන් ප්‍රතිචාර

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
එම වාර්තාව කරුණු රැසකින් සමන්විත වුවද අවධානය යොමු කර ඇති විෂය ක්ෂේත්‍රය සම්බන්ධව තාර්කික හෝ විද්‍යාත්මක දත්ත විශ්ලේෂණයක් මත පදනම් නොවීමේ බරපතල ඌණතාවක් පෙන්නුම් කරන බව රජයේ අදහස බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
විශේෂයෙන් මෙරට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික සේවා සපයන ආයතනවල ක්‍රියාකාරිත්වය, එම ආයතන මේ වනවිටත් නියාමනය වන ආකාරය, තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයට අදාළ මූල්‍ය දත්ත, මෙම ක්ෂේත්‍රය ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ ජාතික අභිලාෂය, එය ඉටුකර ගැනීම සඳහා තිබෙන ප්‍රාග්ධන හැකියාව මෙන්ම ලෝක ප්‍රවණතා පිළිබඳ විධිමත් හැදෑරීමක් සහ විශ්ලේෂණයක් අවශ්‍ය බවද එහි සඳහන්.
එසේම, රජය ගෙන ඇති මෙම ප්‍රතිපත්තිමය තීන්දුව හේතුවෙන් මෙම වාර්තාවෙන් පෙන්වා දෙන ආකාරයේ බලපෑමක් ජාතික ආරක්ෂාවට එල්ල නොවන බවට වන තහවුරුව ද රජය සතු බවත් එහෙයින් මෙම වාර්තාව මෙන්ම තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ නිර්දේශ සැලකිල්ලට ගෙන ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමකදී අවසන් තීරණයක් ගන්නා බවයි රජය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කොවිඩ් – 19 සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනයට අමාත්‍ය කමිටුවක් සහ විද්වත් කමිටුවක් පත් කෙරේ

රට තුළ කොවිඩ් -19 සහ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය කමිටුවක් සහ විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා.
023 ජුනි මස 22 දිනැති අංක 23/විවිධ/026 දරන අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මෙම කමිටු පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය කමිටුව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු ඇතුළු සාමාජිකයන් 08 දෙනෙකුගෙන් සමන්විත අතර ට තුළ කොවිඩ් 19 සහ ඩෙංගු රෝගය පාලනයට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම අමාත්‍ය කමිටුවට පවරා ඇති බවයි සඳහන් වන්නේ.
මේ අතර ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම ඇති සාමාජිකයන් 11 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් පත්කර තිබෙනවා.