තිරිඟු පිටි නිශ්චිත භාණ්ඩයක් ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

තිරිඟු පිටි ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන බැවින් 2023 ජුනි 16 මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි “නිශ්චිත භාණ්ඩ” යටතට ගෙන එමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රු.10 කින් අඩු කිරීමට වෙළඳ ඇමතිගෙන් යෝජනාවක්

කඩිනමින් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් අඩු කළ යුතු බවට යෝජනා කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.
තිරිඟු පිටි මිල වැඩි කිරීමට සමාගම් කටයුතු කිරීමට ඉඩ ඇති බැවින්, තිරිඟු පිටි නිශ්චිත භාණ්ඩයක් ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ අනුව දේශිය තිරිඟු පිටි සමාගම් ඉදිරියේදී තිරිඟු පිටි මිල වැඩි කරන්නේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුමැතිය ලබා ගත යුතු බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කළා.

මිනුවන්ගොඩදී සිදුක​ළ වෙඩිතැබීමකින් දෙදෙනෙකුට තුවාල

මිනුවන්‌ගොඩ, බොර‌ගොඩවත්ත ඔස්ටින් මාවත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව ඊයේ (17) රාත්‍රී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකුට මෙලෙස වෙඩිතබා ඇති බවයි සඳහන් වන්නේ.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 33 හැවිරිදි සහ 43 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ICC CWC Qualifier: අද තරග දෙකක් පැවැත්වෙයි

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අද (18) සිම්බාබ්වේ හී දී ආරම්භ වනවා.

ඒ අනුව තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිතවයි.

පළමු තරගය සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම හා නේපාල කණ්ඩායම අතර පැවැත්වෙන අතර දෙවන තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා අමෙරිකා කණ්ඩායම අතර පැවැත්වෙනවා.

උසස් පෙළ උපකාරක පන්ති නියාමනය කිරීමට අවධානය

උසස් පෙළ උපකාරක පන්ති ක්ෂේත්‍රය නියාමනයකට ලක් කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පවසනවා.

උසස් පෙළ පන්තිවල අයකරන ගාස්තු, එම පන්තිවල පවසන කරුණු ආදී අංශ කිහිපයක් පදනම් කර ගනිමින් මෙම නියාමනය සිදුකිරීමට අපේක්ෂා කරන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව උපකාරක ගුරුවරුන්ගේ සංගමය සමඟ සාකච්ඡා කර උපකාරක පන්ති සිදුකරන පිරිස් සඳහා බලපත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරන බවත් දේශන ශාලාවල ඇති පහසුකම් සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

වැඩබලන මුදල් හා ආරක්ෂක අමාත්‍යවරු පත් කෙරේ

වැඩබලන මුදල් අමාත්‍යවරයෙක් සහ වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයෙක් පත්කර තිබෙනවා.

වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පත්කර ඇති අතර වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව යෑම හේතුවෙන් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ලබන සතියේ පාර්ලිමේන්තුව 20 සිට 23 වනදා දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව ලබන 20 වනදා සිට 23 වනදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.
ඒ අනුව අයවැය කාර්යාලය පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය 20 වනදා පැවැත්වීමට එහිදී තීරණය කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
දූෂණ විරෝධි පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ලබන 21 වනදා පැවැත්වීමට සහ පසුගිය පළමු වනදා ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා කළ කතාව පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය විපක්ෂයේ යෝජනාවක් මත ලබන 22 වනදා පැවැත්වීමට නියමිතයි.

ඉංග්‍රීසි භාෂාව ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගෙන ඒමට කටයුතු කරනවා – ජනපති

ඉදිරි වසර 05 තුළ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරු හා යටිතල පහසුකම් ලබාදී ඉංග්‍රීසි භාෂාව ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමා නොවී චීන, ජපන්, හින්දි, අරාබි වැනි භාෂා ඉගෙනගැනීමට අවස්ථාව සලසන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (16) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති 2018- 2022 අධ්‍යයන වසර – ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සඳහා ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවය අමතමින්.

අළු බඳුන ක්‍රිකට් තරගාවලි​ය අද ඇරඹෙයි

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර අළු බඳුන ක්‍රිකට් තරගාවලිය අද (16) ආරම්භ වනවා.

ඒ අනුව එහි පළමු තරගය අද එංගලන්තයේ බර්මින්හැම්හි දී ආරම්භවීමට නියමිත බවයි සඳහන් වන්නේ.

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන මෙම තරගාවලිය 2023-2025 ICC ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියට අයත් තරගයක් ලෙස පැවැත්වෙනවා.

ටෙලිකොම් ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහි පෙත්සම් 02ක් නිෂ්ප්‍රභ කෙරේ

ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනුකර තිබුණා.

ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හරහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන බවට මෙම පෙත්සම්වලින් චෝදනා කර තිබුණා.

එම චෝදනාවේ කිසිදු පදනමක් නොමැති බව සඳහන් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා බ්‍රිතාන්‍යය ඇතුළු ලෝකයේ ප්‍රධාන රටවල් ගණනාවකම විදුලි සංදේශ කටයුතු පෞද්ගලීකරණය කර තිබෙන බවත් සඳහන් කර තිබෙනවා.

ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය එම පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීරණය කර තිබෙනවා.