නෞකා අනතුරු පිළිබඳ කරුණු ​සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද රැස්වෙයි

මෙරට මුහුදු සීමාවේදී ගිනිගැනීමට ලක්වු නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරු පිළිබඳ කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පළමු වරට අද (20) රැස්වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරුවේ එම කාරක සභාව රැස්වීමට නියමිත බවයි එම කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම සඳහන් කළේ.

එක්ස්ප්‍රස් පර්ල් හා නිව් ඩයමන්ඩ් නෞකා අනතුරු ගැන සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙසට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය දා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා.

එම ඉල්ලීමට අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අමාත්‍ය රමේෂ් පතිරණගේ සභාපතීත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කර කිරීමට කටයුතු කළා.

ආනයන සීමා ලිහිල් කරන ආකාරය ජුනි අග IMF වෙත දැනුම්දීමට කටයුතු කරනවා – ශෙහාන් සේමසිංහ

උද්ධමනය අඩුවීමට සමාන්තරව ඉදිරි මාස දෙක තුළදී වෙළෙඳපොළ සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව බැංකු පොලී අනුපාත ද පහළ යනු ඇති බවයි වැඩබලන මුදල් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ජුනි මාසයේ අග වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ආනයන සීමා ලිහිල් කරන ආකාරය කාලවකවානු සහිතව දැනුම්දීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.

කෙසේ නමුත් මේ වසරේ වාහන ආනයනයට අවසර ලබාදීමේ ඉඩක් නොමැති බවයි වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

ICC CWC Qualifier: එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමට ලකුණු 356 ඉලක්කයක්

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 355 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 78 ක්, සධීර සමරවික්‍රම ලකුණු 73 ක්, පැතුම් නිස්සංක ලකුණු 57 ක් හා දිමුත් කරුණාරත්න ලකුණු 52 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම වෙනුවෙන් Ali Naseer කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 356 ක්.

ICC CWC Qualifier: පන්දුවාර 30 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 170/2

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම පන්දුවාර 30 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 170 ක් ලබා සිටිනවා.

පන්දුවට පහරදෙමින් සිටින කුසල් මෙන්ඩිස් ලකුණු 33 හා සධීර සමරවික්‍රම ලකුණු 18 ලබා සිටිනවා.

ICC CWC Qualifier: පන්දුවාර 17 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 96/1

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායම පන්දුවාර 17 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 96 ක් ලබා සිටිනවා.

දිමුත් කරුණාරත්න ලකුණු 52 ක් ලබාගත් අතර පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් මේ වන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටිනවා.

ICC CWC Qualifier: කාසියේ වාසිය එක්සත් ​අරාබි එමීර් කණ්ඩායමට

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගය අද (19) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

අද ඩොලරයේ විකුණුම් මිල රු.315 දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (19) යළි පහළ යාමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.297.53 ක් ලෙස හා විකුණුම් මිල රු.315.12 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

විමල්ට එරෙහිව වරෙන්තුවක්

හිටපු අමාත්‍ය විමල් වීරවංශ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් අද (18) වරෙන්තු නිකුත් කර තිබෙනවා.
අනතුරුව අදාළ නඩුව සැප්තැම්බර් මස 11 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.

රෝහිත බෝගොල්ලාගම එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ලෙස පත් කෙරේ

රෝහිත බෝගොල්ලාගම අගෝස්තු 1 සිට එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ලෙස පත් කර තිබෙනවා.
ඔහු මීට පෙර විදේශ අමාත්‍යවරයෙක් ලෙසද කටයුතු කර තිබෙනවා.

ඉන්ධන තොග සම්බන්ධයෙන් දැනුම්දීමක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා IOC සමාගම්වල ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග සහ අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල කිසිදු හිඟයක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඉන්ධන පිරවුම්හල්වල ප්‍රමාණවත් තොග ඇති බවත් ලබා දී ඇති සියලුම ඇණවුම් බෙදාහැරීමට කටයුතු කර ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 9,000ක් රැගෙන එන නෞකාව එළැඹෙන 22 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.