ආනයනික සිමෙන්ති සඳහා පැනවූ සෙස් බද්ද ඉහළට

ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද ජූනි මස 17වන දින සිට ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව කෘත්‍රිම ලෙස වර්ණ ගැන්වූ හෝ වර්ණ නොගැන්වූ සුදු සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සදහා පනවා තිබූ රුපියල් 3ක සෙස් බද්ද රුපියල් 5 දක්වා ඉහළ දමා ඇති බවයි සඳහන් වන්නේ.

කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වලින් ආනයනය කරනු ලබන අනෙකුත් පෝට්ලන්ඩ් සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සඳහා වූ රුපියල් 5ක සෙස් බද්ද රුපියල් 8 දක්වා ඉහළ දමා ඇති බවද සඳහන්.

කිලෝග්‍රෑම් 50 සහ ඊට වැඩි ඇසුරුම්වලින් තොග වශයෙන් ආනයනය කරනු ලබන අනෙකුත් පෝට්ලන්ඩ් සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සඳහා අයකළ රුපියල් 3ක බද්ද රුපියල් 5 දක්වා ඉහළ දමා ඇති බවයි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (20) සිට 23 වනදා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද දිනයේ 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයද අද පැවැත්වීමට නියමිතයි.

ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය ගෙනෙන යෝජනාවකට අනුව සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ICC CWC Qualifier: දුනිත්, සහන් සහ ඩිල්ෂාන් මධුශංක ශ්‍රී ලංකා සංචිතයට කැඳවයි

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය සඳහා අතිරේක ක්‍රීඩකයන් තිදෙනෙක් කැඳවා තිබෙනවා.

ඒ අනුව දුනිත් වෙල්ලාලගේ, සහන් ආරච්චිගේ සහ ඩිල්ෂාන් මධුශංක මෙලෙස අතිරේක ක්‍රීඩකයන් ලෙස කැඳවා ඇති බවයි සඳහන් වන්නේ.

ඔවුන් හෙට (21) දිනයේ සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිතයි.

LPL තරග කාලසටහන ප්‍රකාශයට පත් කරයි

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

තරගාවලියේ පළමු තරගය Jaffna Kings කණ්ඩායම හා Colombo Strikers කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

ICC CWC Qualifier: අද පැවැත්වෙන තරග

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අද (20) A කාණ්ඩය නියෝජනය කරන තරග දෙකක් පැවැත්වෙනවා.

ඒ අනුව පළමු තරගය නෙදර්ලන්ත කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන අතර එම තරගය දහවල් 12.30 ට ආරම්භවීමට නියමිතයි.

දෙවන තරගය නේපාල කණ්ඩායම හා අමෙරිකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ICC CWC Qualifier: ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ශ්‍රී ලංකාවට සහ සිම්බාබ්වේ කණ්ඩායම්වලට

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් සමත්වී තිබෙනවා.

ඒ අනුව A කාණ්ඩය නියෝජනය කරන සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රසාද ලකුණු 2 ක් සහ දල ලකුණු වේගය 0.789 ක රඳවා ගනිමින් පළමු ස්ථානයේ පසුවනවා.

එම කාණ්ඩයේ දෙවන ස්ථානය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දිනාගෙන ඇත්තේ ප්‍රසාද ලකුණු 2 ක් සහ දල ලකුණු ලබා ගැනීමේ වේගය 0.780 ක රඳවා ගනිමින්.

B කාණ්ඩය නියෝජනය කරන ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 2 ක් සහ දල ලකුණු ලබා ගැනීමේ වේගය 3.500 ක රඳවාගෙන පළමු ස්ථානයේ පසුවන අතර ඕමාන කණ්ඩායම ප්‍රසාද ලකුණු 2 ක් හා දල ලකුණු ලබා ගැනීමේ වේගය 0.297 ක රඳවා ගනිමින් දෙවන ස්ථානයේ පසුවනවා.

ඩෙංගුවලින් ආරක්ෂාවීමට බස්නාහිර පළා​තේ සිසුන්​ට සිරුර වැසෙන ඇඳුමක් හඳුන්වාදීම​ට යෝජනාවක්

ඩෙංගු රෝගයෙන් ආරක්ෂාව වීම සඳහා බස්නාහිර පළාත් පාසල් ළමුන් පාසල් නිල ඇඳුමට අමතරව ශරීරය වැසෙන ආකාරයේ ගැලපෙන ළා පැහැති ඇඳුමකින් සැරසී පැමිණෙන ලෙස වන යෝජනාවක් ජාතික ඩෙංගු මර්දන ඒකකය ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව පාසල් ළමුන්ගේ ඩෙංගු වැලඳිමේ ප්‍රවණතාවයක් පසුගිය කාලයේ ඉහළ යෑම හේතුවෙන් මෙම ඉල්ලීම සිදුකරන බවයි එහි සභාපති වෛද්‍ය නලින් ආරියරත්න සඳහන් කළේ.

ඒ අනු මේ සඳහා අධ්‍යාපන ලේකම්වරයාගේ අනුමැතිය හිමිවී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි වෛද්‍ය නලින් ආරියරත්න වැඩිදුරටත් සඳහන් කළේ.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයේ රස පරීක්ෂක වාර්තා ගැන CID යට නියෝගයක්

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට අදාළ පරීක්ෂණවලදී රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකළ භාණ්ඩවලට අදාළ පරීක්ෂණ වාර්තා මෙතෙක් ලැබී නොමැති බැවින් එම වාර්තා කඩිනමින් කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙන්වා දුන්නේ මෙම පරීක්ෂණයට අදාළව රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකරන ලද ලේ සාම්පල ඇතුළු ද්‍රව්‍යවලට අදාළ වාර්තා මෙතෙක් ලැබී නොමැති බවයි.

එම වාර්තා ලැබීමේ ප්‍රමාදයක් තිබෙන බවත් ඒවා කඩිනමින් කැඳවීමට පියවර ගන්නා ලෙසත් අවශ්‍ය නම් රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහිකැඳවීම් යොමුකිරීමට හැකියාව තිබෙන බවත් පැමිණිල්ල ලබන 28 වනදා කැඳවන ලෙසයි මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඩෙංගු මර්දන ව්‍යාපාරය සඳහා බඳවාගත් පිරිසගේ රැකියා ස්ථිර කිරීමට අවධානය

ඩෙංගු මර්දන ව්‍යාපාරය සඳහා බඳවාගත් පිරිසගේ රැකියා ස්ථිර කිරීම සඳහා තමා පුද්ගලිකව හෝ මැදිහත් වෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

මෙම පිරිස 2016 බඳවා ගත් කණ්ඩායමක් බවත්, මොවුන්ට මූලික සුදුසුකම් කිසිවක් නොතිබූ අය බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම පිරිස් ස්ථිර කළයුතු බවට කැබිනට් පත්‍රිකා 3 ක් මේ වන විට ඉදිරිපත් කර ඇති බවත් මොවුන්ට සාධාරණයක් ඉටු කිරීමට කඩිනමින් කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වැඩිදුරටත් සඳහන් කළේ.

ජනපති හා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය එක්සත් රාජධානි සංචාරයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හමුවී තිබෙනවා.

ඒ අනුව පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

දේශගුණික විපර්යාස වලට මුහුණදීමට රජයේ උපාය මාර්ග සහ  ප්‍රයත්නයන් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයට සහය දැක්විය හැකි ආකාර‍ය පිළිබඳව ද එහිදී  අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.