බෲනෝ දිවාකර ඇප මත නිදහස් කෙරේ

SL-Vlog හි හිමිකරු වන බෲනෝ දිවාකර ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (21) නියෝග කර තිබෙනවා.

කෙසේ නමුත් නතාෂා එදිරිසූරියව ජූලි 05 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

විමල් අධිකරණය හමුවේ පෙනී සිටියි

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද (21) අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.

පසුගිය 19 වනදා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබුණා.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.

විදුලිබල සේවකයින් අද කොළඹට

විදුලිබල මණ්ඩලය විකිණීමට විරෝධය පළ කිරීම සඳහා සියලුම සේවකයින් අද (21) කොළඹට කැඳවා ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා.

ඒ අනුව දහවල් 1.00 විහාරමහාදේවි උද්‍යානයේදී විශේෂ සමුළුවක් පවත්වා, ඊට එරෙහිව ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණෙන බවයි එහි සභාපති රන්ජන් ජයලාල් සඳහන් කළේ.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කර පෞද්ගලික සමාගම් 15කට විකිණීමට ආණ්ඩුව සුදානම් කර ඇති බවත්, ජාතික ආරක්ෂාව ගැන නොතකා විදේශ සමාගම් අතට පත්කිරීම බරපතළ තත්ත්වයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අවශ්‍ය වුවහොත් අඛණ්ඩ වැඩ වර්ජනයකට යෑම සඳහා වන යෝජනාවක් අද සමුළුවේදී සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව රන්ජන් ජයලාල් වැඩිදුරටත් සඳහන් කළා.

හෝමාගම වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

හෝමාගම – නියඳගල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව ඊයේ (20) රාත්‍රියේ නිවසක සිටි පුද්ගලයෙකුට නාඳුනන පිරිසක් වෙඩි තබා පලාගොස් ඇති බවයි සඳහන් වන්නේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවුරුදු 46 ක පුද්ගලයෙන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මහින්ද කහඳගම රිමාන්ඩ් කෙරේ

හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

2022 වසරේදී කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ නිවසක් ලබාදෙන බවට පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 70ක් වංචා කිරීමේ චෝදනාවක් මත ඔහු කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 22 දක්වා එලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ICC CWC Qualifier: අද පැවැත්වෙන තර​ඟ

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අද (21) B කාණ්ඩය නියෝජනය කරන තරග දෙකක් පැවැත්වෙනවා.

ඒ අනුව පළමු තරගය අයර්ලන්ත කණ්ඩායම හා ස්කොට්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන අතර එම තරගය දහවල් 12.30 ට ආරම්භවීමට නියමිතයි.

දෙවන තරගය ඕමාන කණ්ඩායම හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ICC CWC Qualifier: ඊයේ තරග සාරාංශය

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ඊයේ (20) පැවති තරග දෙකෙන් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම හා නේපාල කණ්ඩායම සමත් වුණා.

සිම්බාබ්වේ කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට නෙදර්ලන්ත කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 315 ක් ලබා ගැනීමට සමත්වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම 41 වන පන්දුවාරයේදී කඩුලු 4 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

දෙවන තරගය අමෙරිකා කණ්ඩායම හා නේපාල කණ්ඩායම අතර පැවැත්වුන අතර එහිදී කාසියේ වාසිය දිනාගත් නේපාල කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට අමෙරිකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි අමෙරිකා කණ්ඩායමට පන්දුවාර 49 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 207 ක් වන අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාල කණ්ඩායම 43 වන පන්දුවාරයේදී කඩුලු 4 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

NED vs ZIM

අයවැය කාර්යාල පනත් කෙටුම්පත සම්මත වෙයි

පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත තෙවැනිවර කියවීම අද (20) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

ඒ අනුව කාරක සභා අවස්ථාවේදී සංශෝධන සහිතව පනත් කෙටුම්පත සම්මත කරගත් බවයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ.

අද ඩොලරයේ විකුණුම් මිල රු.314 යි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (20) සුළු වෙනස් වීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.297.28 ක් ලෙස හා විකුණුම් මිල රු.314.38 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ

පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල රු.10 කින් පහළට

අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් පහත දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.