පළාත් පාලන ආයතන යළි කැඳවීමේ කෙටුම්පතට එරෙහිව පැෆරල් සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට

පළාත් පාලන ආයතන යළි කැඳවීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කෙටුම්පතට එරෙහිව අද (10) දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කරන බව පැෆරල් සංවිධානය පවසනවා.

මෙම පනත් කෙටුම්පත මගින් පැහැදිළිව ආණඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව පෙනී යන බවයි එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

මෙය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් වුවද මෙය ආණ්ඩුවේ ආශිර්වාදය සහිතව සිදුකරන බවට පෙනී යන බවත්, පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල් තැබීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ආණ්ඩුව ගනිමින් සිටින බවයි රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කළේ.

බිත්තර ඉල්ලුම ඉහළ ගිහින් – සරත් රත්නායක

දේශීය බිත්තර ඉල්ලුම ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසනවා.
ඒ අනුව දේශීය බිත්තර ඉල්ලුම 10% කින් පමණ ඉහළ ගොස් ඇති අතර බිත්තර නිෂ්පාදනය ලක්ෂ 30 සිට ලක්ෂ 50 දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔහු සඳහන් කළේ.
මස්, මාළු මිල ඉහළ ගොස් ඇති නිසා බිත්තර සඳහා වැඩි ඉල්ලුමක් පැවතීම හේතුවෙන් බිත්තර මිල ඉහළ ගොස් ඇති බවත්, ඉදිරි සති දෙක තුළ ඉල්ලුම අඩු වූ පසු නැවතත් බිත්තර මිල අඩුවනු ඇති බවයි සරත් රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.

බස් රථයක් හා කන්ටේනර් රථයක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු මරුට

අඹන්පොළ ප්‍රදේශයේ දී අද (10) අලුයම සිදුවූ තවත් බස්රථ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.
තුවාල ලැබූ පිරිස මේ වනවිට රෝහල්ගත කර ඇති බවයි සඳහන් වන්නේ.
වන්දනා චාරිකාවක් ගොස් යළි නිවෙස් බලා ගමන් කරමින් සිටි බස් රථයක් අඹන්පොළ ප්‍රදේශයේ දී මාර්ගයේ අයිනේ නවතා තිබු කන්ටේනර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

මනම්පිටිය බස් රථ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 10 දක්වා ඉහළට

පොළොන්නරුව මනම්පිටිය කොතලිය පාලම අසලදී සිදුවූ බස් රථ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 40 කට වැඩි පිරිසක් රෝහල්ගතකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පොළොන්නරුවේ සිට කාත්තන්කුඩි දක්වා ගමන්ගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර පොළොන්නරුවේ ගල්ලෑල්ලට නුදුරු කොටලීය පාලම අනතුරු බහුලව සිදුවන පටු පාලමක් බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ.

ICC CWC qualifiers Final: නෙදර්ලන්තයට ලකුණු 234 ක ඉලක්කයක්

ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව හා නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 48 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු‍ 233 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සහන් ආරච්චිගේ ලකුණු 57 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 43 ක්, පැතුම් නිස්සංක ලකුණු 23 ක් හා චරිත් අසලංක ලකුණු 36 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් Ryan Klein කඩුලු 2 ක්, Saqib Zulfiqar කඩුලු 2 ක්, හා Vikramjit Singh කඩුලු 2 ක් බිඳ හෙළිමට සමත් වුණා.

ඒ අනුව නෙදර්ලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 234 ක්.

ලකුණු පුවරුව පහතින්.

64aa90cb6888b

ICC CWC qualifiers: කාසියේ වාසිය නෙදර්ලන්තයට

ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව හා නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගය අද (09) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ICC CWC qualifiers Final: ශ්‍රී ලංකා නෙදර්ලන්ත අවසන් තරගය අද

ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගය අද (09) පැවැත්වෙනවා.

ඒ අනුව නෙදර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30 ට ආරාම්භ වීමට නියමිත අතර තරගයේ සජීවී තොරතුරු එසැණ හරහා ගෙන ඒමට නියමිතයි.

විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පැනවීම සම්බන්ධයෙන් නව නීති හඳුන්වාදීමට පනත් කෙටුම්පතක්

පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පැනවීම වළක්වාලීම සදහා නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙනවා.

ඒ අනුව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න විසින් අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

එම නව පනත් කෙටුම්පත මඟින් විශේෂ වෙළද භාණ්ඩ බදු පැනවීම සම්බන්ධයෙන් නව නීති හදුන්වාදීමට බලාපොරොත්තු වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න වැඩිදුරටත් සඳහන් කළේ.

පොලිස්පති ධූරය ගැන තීරණයක් ගැනීමට අද විශේෂ සාකච්ඡාවක්

පොලිස්පති ධූරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ජනාධිපතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම සාකච්ඡාවේදී පුරප්පාඩුවී ඇති පොලිස්පති ධූරය සඳහා පත් කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

මේ වන විට පොලිස්පතිවරයෙකු නොමැතිව දින 14 ක කාලයක් ගතවී තිබෙනවා.

ඉදිරියේදී තවදුරටත් ආනයන සීමා නිදහස් කිරීමට කටයුතු කරනවා – මහ බැංකු අධිපති

මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් වීම වසරේ දෙවන අර්ධයේදී දැකගත හැකි බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

මේ වන විට ඇති සියලුම දත්ත මගින් පෙන්වා දෙන්නේ පාරිභෝගිකයින්ගේ විශ්වාසය නැවත ඇති වී ඇති බව යැයි CNBC විදෙස් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

රජය මේ වන විටත් ආනයන සීමා බොහෝමයක් ලිහිල් කර ඇති අතර ඉදිරියේදී තව දුරටත් ආනයන සීමා නිදහස් කිරීමට කටයුතු කරන බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළා.