2024 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වන අයඳුම්පත් කැඳවීම සම්බන්ධයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව අදාළ අයඳුම්පත් අගෝස්තු මස 18 වැනිදා දක්වා යොමුකළ හැකි බවයි අධ්‍යපන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අදාළ අයඳුම්පත් පාසල්වල විදුහල්පතිවරුන්ට භාරදිය හැකි බවයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Author: Supun
නදීෂා රාමනායකගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්
ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට නදීෂා රාමනායක සමත්වී තිබෙනවා.
කාන්තා මීටර 400 ධාවන ඉසව්ව නියෝජනය කරමින් ඇය තප්පර 52.61 කින් තරගය නිමා කරමින් මෙම දක්ෂතාව දක්වා තිබෙනවා.
සමිත දුලාන්ගෙන් ලෝකඩ පදක්කමක්
පැරා ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ සමිත දුලාන් විසින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්වී තිබෙනවා.
ඒ අනුව හෙල්ල විසි කිරීම F64 කාණ්ඩය යටතේ ඔහු තරග කළ අතර එහිදී ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 64.06 ක්.
ලබන වසරේ සිට පාසල් විභාග නියමිත කාලයේම පැවැත්වීමට කටයුතු කරනවා – අධ්‍යාපන ඇමති
ලබන වසරේදී නියමිත කාලයට සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.
පසුගිය කාලය තුළ රටේ පැවති අර්බුද තත්ත්වයන් හේතුවෙන් විභාග පැවැත්වීමේ කාල වකවානු සංශෝධනය කිරීමට සිදුවු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් වැඩි දුරටත් සඳහන් කළේ, මේ සඳහා ගුරුවරුන්ගේද සහයෝගය අවශ්‍ය බවයි.
අනුරාධපුර සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය අද විවෘත කෙරේ
අනුරාධපුර සිට ඕමන්ත දක්වා ප්‍රතිසංස්කරණය කරන ලද දුම්රිය මාර්ගය ධාවනය සඳහා අද (13) දිනයේ නිල වශයෙන් විවෘත කෙරෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
එම දුම්රිය මාර්ගයේ පැයට කිලෝමීටර් 100කින් දුම්රිය ධාවනය කරවීමේ හැකියාව පවතින බවයි සඳහන් වන්නේ.
අද ඩොලරයේ විකුණුම් මිල රු.321 දක්වා ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (13) සුළු ඉහළ යෑමක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 308.16 ක් ලෙස හා විකුණුම් මිල රු 321.87 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.
සේවක අර්ථසාධක අරමුදල කොල්ලකෑම වහා නවතා දැමීමට කටයුතු කළ යුතුයි – අන්තර් සමාගම් සේවක සංගමය
දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයට මුවාවී සේවක අර්ථසාධක අරමුදල කොල්ලකෑම වහා නවතා දැමීමට කටයුතු කළ යුතු බව අන්තර් සමාගම් සේවක සංගමය පවසනවා.
ඒ අනුව එසේ නොවුනහොත් රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින් එක් කර ගනිමින් දැවැන්ත විරෝධතාවක් ක්‍රියාත්මක කරන බවයි ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් සඳහන් කළේ.
සනත් නිශාන්තට එරෙහි පෙත්සම් 3 ක් සැප්තැම්බර් 27 යළි කැඳවීමට නියෝග
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් 03 ක් සැප්තැම්බර් මස 27 වන දා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම පෙත්සම් අද (13) අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේ, මෙම පැමිණිල්ලට අදාළව කටහඬ පරීක්ෂණයක් සිදු කිරීමට අවශ්‍යව තිබෙන බවයි.
එම අවස්ථාවේදී එක් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ, එවැනි පරීක්ෂණයකින් තොරව මෙම පෙත්සම පවත්වාගෙන යාමට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවයි.
ඒ අනුව පෙත්සම යළි සැප්තැම්බර් මස 27 යළි කැඳවන ලෙසයි අභියාචනාධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබෙන්නේ.
අස්වැසුම අභියාචනා සහ විරෝධතා මිලියනයකට වැඩි ප්‍රමාණයක් ලැබී තිබෙනවා – ශෙහාන් සේමසිංහ
අස්වැසුම සුබසාධන වැඩසටහනේ අභියාචනා සහ විරෝධතා මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
ඒ අනුව අභියාචනා 982,770ක් සහ විරෝධතා 62,368ක් මේ වනවිට ලැබී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
අස්වැසුම සුබසාධන යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ හිමියන්ට මෙම මාසයේ සිට අදාළ දීමනා ලැබෙන බවත් වැඩිහිටි, ආබාධිත, වකුගඩු දීමනා ගෙවීමේ වෙනසක් සිදුනොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
සද්ධාරතන හිමි ඇප මත මුදා හැරේ
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ අනුව අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත උන්වහන්සේ මුදාහැර ඇති බව සඳහන් වන්නේ.
ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.
