හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 14 ක ජල කප්පාදුවක්

හෙට (15) කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 01, 02, 03, 04 සහ කොළඹ 07, 08, 09, 10, 11, 12, 13, 14, 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

හෙට පෙරවරු 8.00 සිට රාත්‍රී 10 දක්වා පැය 14.00 ක කාලයක් ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බවයි සඳහන් වන්නේ

බණ්ඩි පොහොර මිල පහළට

හෙට (15) සිට බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 1,000 කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව මේ වනවිට රුපියල් 15,000ක් වන MOP පොහොර මිටියක් හෙට සිට රුපියල් 14,000කට මිලදී ගත ගත හැකි බවයි සඳහන් වන්නේ.

පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වනවා.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජූලි 16 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

අදාළ සංචිතය පහතින්.

64b0cdcb1cdad

EPF- ETF ණය කපා හැරීමට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින නියම කෙරේ

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලෙන් ලබාගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 27 වනදා කැඳවන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) නියෝග කර තිබෙන්නේ.

පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී ඊට සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කාලය ලබාදෙන ලෙස නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පේරාදෙණියේ තරුණිය මිය යාමේ සිදුවීම ගැන සෙවීමට පංච පුද්ගල කමිටුවක්

පේරාදෙණිය රෝහලේදී තරුණියක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් හෙට (15) දිනයේ පේරාදෙණිය රෝහල වෙත යාමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 තෙක් දීර්ඝ කිරීමට උපදෙස්

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් පත්කළ කැබිනට් අනු කමිටු වාර්තාව ජනපතිවරයාට ලබාදී තිබෙනවා.

ඒ අනුව 2024 වසර අවසාන වනතුරු වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

එම වාර්තාව මත පදනම්ව විශේෂ අවස්ථාවන්හි දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාවය අනුව ඒ සම්බන්ධව වැඩිදුර තීරණ ගැනීමටද ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්ධන බෙදාහැරීමේ ගිවිසුමට සයිනොපෙක් සමාගම අත්සන් තබයි

ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් වන ගිවිසුමට සයිනොපෙක් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අද (14) අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව සයිනොපෙක් විසින් ඉන්ධන ආනයනය, ගබඩා කිරීම සහ අලෙවිය ඇතුළත් ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 100ක් ආයෝජනය කර ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ අංක 17 ප්‍රකාරව සයිනොපෙක් එනර්ජි ලංකා (Sinopec Energy Lanka) ආයතනයේ අධීක්‍ෂණය යටතේ වසර 20ක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ගිවිසුම මගින් ඉඩ ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මෙරට ඇති සියලු ඖෂධ පිළිබඳ විනිවිදභාවයක් අවශ්‍යයි – ජනපති

ජනතාවට ඖෂධ ලබා ගැනීමේදී ප්‍රමාදයක් සිදු නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු බවත්, මෙරට ඇති සියලු ඖෂධ පිළිබඳ විනිවිදභාවයක් අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි මගින් දිනපතා සෑම රෝහලක් සතු ඖෂධ ප්‍රමාණය සහ දිනකට ලබාගත හැකි මුළු ඖෂධ ප්‍රමාණය පිළිබඳ දත්ත ලබාදිය යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

මෙම ජාලගත ක්‍රියාවලිය මගින් රෝහල් අතර ඖෂධ හුවමාරු කර ගැනීමටද අවස්ථාව හිමිවන බවයි ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට සේවකයන්ගේ විරෝධය

ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම කාලෝචිත නොවන බව ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව පවසනවා.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ, ඒ තුළින් රජය බලාපොරොත්තු වන සමාජ ආර්ථික ප්‍රතිලාභ ලඟා කර ගත නොහැකි බවයි.

රාජ්‍ය භාණ්ඩාගාරයට ශක්තියක් ලබා දිය හැකි, ශ්‍රී ලාංකීය ජනතාවගේ සුබසාධනය සඳහා මූල්‍ය උත්පාදනයන් කළ හැකි මෙවැනි ජාතික සම්පතක් ප්‍රතිව්‍යුහගත කිරීමට සමස්ත ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සේවකයින් දැඩිව විරුද්ධ වන බවයි ඔවුන් සිය නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

OnMax DT අධ්‍යක්ෂ මණ්ඩලයේ බැංකු ගිණුම් 6 ක් අත්හිටුවයි

OnMax DT පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් හය දෙනෙකුගේ බැංකු ගිණුම් අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අදාළ ගිණුම්වල රුපියල් කෝටි 79ක මුදලක් තැන්පත් කර තිබූ බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කළේ.
එසේම අදාළ සමාගමට අයත් බැංකු ගිණුම් 95ක්ද මේ වන විට අත්හිටුවා ඇති බවද විමර්ශන නිලධාරීන් සඳහන් කර තිබෙනවා.
මොවුන් විසින් වංචා කර ඇති මුදල කොතෙක් ද යන්න මෙතෙක් සඳහන් කළ නොහැකි බවත්, අවම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් හයදෙනාගේ බැංකු ගිණුම්වල තිබූ රුපියල් කෝටි 79 මෙන් විසි ගුණයක් පමණ ඔවුන් උපයාගෙන ඇති බවට සැක කරන බවයි අධිකරණයට දැනුම්දී ඇත්තේ.
අදාළ සමාගමේ ආයෝජන ලෝකයේ විවිධ රටවල ඇති බවට සමාගම සඳහන් කළ ද, මෙතෙක් ඒ පිළිබඳව කිසිඳු සාක්ෂියකින් තහවුරු කිරීමට ඔවුන්ට හැකි වී නොමැති බවද විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.