තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

සිය Twitter ගිණුමේ සටහනක් තබමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව සඳහන් කර තිබෙනවා.

අද ඩොලරයේ විකුණුම් මිල රු.320 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (12) සුළු ඉහළ යෑමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 306.15 ක් ලෙස හා විකුණුම් මිල රු 320.68 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

බලපත්‍ර නොමැති බස් රථ සොයා දීපව්‍යාප්ත වැටලීම්

බලපත්‍ර රහිතව මගී ප්‍රවාහනයේ යෙදෙන බස් රථ වැටලීම සඳහා විශේෂ වැටලීම් ආරම්භ කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ඒ සඳහා කණ්ඩායම් 4 ක් යොදවා ඇති බවයි එහි අධ්‍යක්ෂ ජනාරාල්, ආචාර්ය නිලාන් මිරෙන්ඩා සඳහන් කළේ.

පසුගිය දා පොළොන්නරුව, මනම්පිටිය කොටලීය පාලමින් බස් රථයක් ඔයට පෙරළී සිදු වූ අනතුරක් සිදුවූ අතර එම බස් රථයද බලපත්‍රයක් නොමැතිව ධාවනය කර ඇති බවටයි චෝදනා එල්ල වුණේ.

IMF පළමු සමාලෝචනය සැප්තැම්බර් මාසයේදී සිදුකරනවා – ශෙහාන් සේමසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සැප්තැම්බර් මාසයේදී සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

මෙම සමාලෝචනය සිදුවන තෙක් දැනට සිදුකර ඇති ප්‍රතිසංස්කරණ කිසිවක් වෙනස් කළ නොහැකි බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

දේශපාලන ස්ථාවරත්වය අද ගොඩනැගී ඇති බවත්, ආර්ථික ස්ථාවරත්වය ගොඩනැගීමට අවශ්‍ය පසුබිමද නිර්මාණය වී ඇති බවද ඔහු සඳහන් කළා.

මෙම වසර අග වන විට මීට වඩා ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් කීමට හැකිවනු ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද ආරම්භ වෙයි

2022 උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අද (12) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දිවයින පුරා මධ්‍යස්ථාන 42 කදී ලබන 21 වනදා දක්වා අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවයි එහි නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් කළේ.

මේ සඳහා අපේක්ෂකයින් 20,084 ක් සහභාගි වීමට නියමිතව ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවත දිවයිනට

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරඟාවලිය සඳහා එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා.

ඔවුන් සිම්බාබ්වේ සිට ඩුබායි වෙත පැමිණ එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවය හරහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ වනිඳු හසරංග සඳහන් කළේ, රටින් යන මොහොතේ විශාල පීඩනයක සිටි බවත් නමුත් ජයග්‍රාහීව තරගය නිමා කිරීම ගැන සතුටට පත්වන බවයි.

ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය වනිඳුට

ජූනි මාසයට අදාළ ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග විසින් දිනා ගෙන තිබෙනවා.

2023 ලෝක කුසලාන සුදුසුකම් තරගාවලියට අදාළව දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු මෙලෙස ඒ සඳහා නිර්දේශවී තිබුණා.

සුදුසුකම් ලැබීමේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූ වනිදු හසරංග ඉනිම් 7කදී කඩුලු 22 ක් දවා ගැනීමට සමත් වුණා.

පාස්කු නඩුවට මෛත්‍රී රුපියල් මිලියන 15 ක වන්දි මුදලක් ගෙවයි

රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව ඔහු විසින් වන්දි වශයෙන් රුපියල් මිලියන 15ක මුදලක් ගෙවා තිබෙනවා.

තමන්ට හිටපු ජනාධිපතිවරයා වශයෙන් විශ්‍රාම වැටුප් වශයෙන් මාසිකව රුපියල් 97,500/- ක්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දීමනා හැර රුපියල් 54,285 ක මුදලක් ද ආදායම වශයෙන් ලැබෙන බවයි මෛත්‍රීපාල සිරිසේන සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන මෝසමේ සඳහන් කර තිබෙන්නේ.

ඒ අනුව ඉතිරි වන්දි මුදල් රුපියල් ලක්ෂ 85 බැගින් වසර 10 කින් ලබන වසරේ ජුනි 30 වනදා සිට ගෙවීම ආරම්භ කිරීමට අවසර දෙන ලෙසයි ඔහු සිය මෝසම මඟින් ඉල්ලා තිබෙන්නේ.

උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ හෙට සිට ආරම්භ වේ.

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ හෙට (12) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව හෙට සිට 21 වෙනි දා දක්වා මෙම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

පෙරදිග සංගීතය හා නර්තනය යන විෂයයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ජූලි මස 06 වැනි දා අවසන් වුණා.

අද ඩොලරයේ විකුණුම් මිල රු.319 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (11) සුළු ඉහළ යෑමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 305.13 ක් ලෙස හා විකුණුම් මිල රු 319.32 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.