ආසියානු මළල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

25 වෙනි ආසියානු මළල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා.

දිවයිනට පැමිණි එම පිරිස පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය, මළල ක්‍රීඩා සංගමය ඇතුළු ආයතනවල නිලධාරීන් පිරිසක් පැමිණ සිටි බවයි සඳහන් වන්නේ.

එම තරගාවලියේදී ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම රන් පදක්කම් 03ක් රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 03ක් සමගින් සමස්ත ලකුණු සටහනේ සිව්වන ස්ථානය දිනාගැනීමට සමත් වුණා.

ආර්ථික බංකොලොත්භාවය සෙවීමට පත්කළ කමිටුව අද පළමුවරට රැස්වෙයි

රට ආර්ථික වශයෙන් බංකොලොත් වීමට හේතු සෙවීම සඳහා පත්කළ කමිටුව අද (18) පළමු වරට රැස්වීමට නියමිතව තිබෙනවා.

එම රැස්වීමේදී කමිටුවේ සාමාජිකයින් සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට නියමිත බවයි කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් සඳහන් කළේ.

මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දු තිරණ ගත් පාර්ශව මෙන්ම ආර්ථිකය සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කළ හැකි උගතුන් කමිටුව වෙත කැඳවීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

රජයේ සේවා කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කෙරේ

රජයේ සේවා කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත්කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවාවන් සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම යන සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කර තිබෙනවා.

එසේම රෝහල්වල, සාත්තු නිවාසවල සහ වෙනත් සමාන ආයතනවල සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

64b5fe68c016apdf_page_0

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (18 ) සිට ලබන 21 දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව ආරම්භවීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

හෙට දිනයේ රේගු ආඥාපනත යටතේ සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි කිහිපයක් විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

මහනුවර හා පේරාදෙණියේ සිදුවීම් ගැන ​සෙවීමට කමිටුවක්

මහනුවර හා පේරාදෙණිය රෝහල්වල සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් කමිටුවක් පත්කර තිබෙනවා.

මහාචාර්ය චන්දිම ජීවන්දරගේ සභාපතීත්වයෙන් යුතුව එම කමිටුව පත්කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ

ඉකුත් වසරේ මාර්තු 31 වනදා මිරිහානේ පිහිටි එවක ජනාධිපති ගෝඨාභයගේ පුද්ගලික නිවස ඉදිරිපිට පැවැති උද්ඝෝෂණය අතරතුරදී අත්අඩංගුවට ගත් තිදෙනෙකුගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) නියෝග කර තිබෙනවා.

එම උද්ඝෝෂණය අතරතුරදී පොලීසිය විසින් තමන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වූ බව සඳහන් කරමින් ඔවුන් එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව නඩුව අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අද ඩොලරයේ විකුණුම් මිල රු.327 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (17) ඉහළ යෑමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 313.29 ක් ලෙස හා විකුණුම් මිල රු 327.16 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

SL vs PAK 1st Test: ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 312 ක් රැස් කරයි

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි (17).

දිනය ආරම්භ කරන විට පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 242 ක්.

දිනයේ පළමු කඩුල්ල ලෙස රමේෂ් මෙන්ඩිස් ලකුණු 5කට දැවී ගිය අතර ප්‍රභාත් ජයසූරිය ලකුණු 4 කට දැවී ගියා.

ධනංජය ද සිල්වා සිය 10 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 122 ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 12ක් ඇතුළත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිමේ සියලු දෙනා ලකුණු 312 කට දවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නන් සමත් වුණා.

ලකුණු පුවරුව පහතින්.

64b4e4c75ec29

SL vs PAK 1st Test: ධනංජය ද සිල්වාගෙන් ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රීඩක ධනංජය ද සිල්වා සිය 10 වැනි ටෙස්ට් ශතකය ලබාගැනීමට අද (17) සමත් වුනා.

ඔහුගේ ශතකය සඳහා හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් වුණා.

තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමට අවධානය

තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා වන නව පනත මේ වසර අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසනවා.

පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස රුපියල් බිලියන 10ක වියදමින් මෙම නව්‍යකරණ කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවත්, කිසි විටක තැපෑල ඈවර කිරීමට ඉඩ නොතබන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති “ස්ථාවර රටකට සැවොම එක මඟකට” ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මේ බව සඳහන් කළා.