කංසා වගාකිරීමේ පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

කංසා ශාකය වාණිජ වගාවක් වශයෙන් සිදුකිරීමේ අරමුණින් ඊට අවශ්‍ය විධිවිධාන ඇතුළත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා.

ආයුර්වේද වෛද්‍යවරු දෙදෙනකු වන කමල් බන්දුල වීරප්පෙරුම සහ ගල්හේනගේ නානායක්කාර විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර රජය විසින් පළාත් සභාවල අදහස් විමසීමක් සිදුකර නොමැති බවත් පළාත් සභාවල අදහස් විමසීමකින් තොරව අදාළ පනත් කෙටුම්පත සෘජුවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන උල්ලංඝනය වී තිබෙන බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

අම්බලන්තොට වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

අම්බලන්තොට, කොග්ගල්ල ප්‍රදේශයේ නිවෙසක අද (19) අලුයම සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 62ක පුද්ගලයෙක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

හරීන් සහ මනූෂව සජබයෙන් ඉවත් කරයි

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ අමාත්‍ය මනූෂ නානායක්කාර සමගි ජන බලවේගයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

තිරිඟු පිටි මිල රුපියල් 10 කින් පහළට

තිරිඟු පිටි මිල අද (18) සිට සංශෝධනය කිරීමට සෙරන්ඩිබ් සහ ප්‍රීමා සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව තිරිඟු පිටි කිලෝවක මිල අද සිට රුපියල් 10කින් පහළ දමන බවයි එම සමාගම් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සෞඛ්‍ය ඇමතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේනවා – සජිත්

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ අනුව අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

ජල සහ මලාපවාහන ගාස්තු සංශෝධනය කෙරේ

ජල සහ මලාපවාහන ගාස්තු සංශෝධනය කිරීම සඳහා අනුමැතිය ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අඩු ආදායම්ලාභී කාණ්ඩයන්ට සහ අධ්‍යාපනික, ආගමික හා පොදු ජල සැපයුම් ආශ්‍රිතව ලබා දී ඇති සමාජ ආරක්ෂණ පදනමට අවම බලපෑමක් වන පරිදි මෙම සංශෝධනය සිදු කිරීමට නියමිතයි.

ආරක්ෂිත ජලය හා සනීපාරක්ෂාව සඳහා ප්‍රවේශ වීමේ අවස්ථා පුළුල් කිරීම, සේවයේ ගුණත්මිකභාවය වැඩි දියුණු කිරිම සහ තිරසර ජල සම්පත් භාවිතයන් ක්‍රියාත්මක කිරීම ආදී අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකි වන පරිදි ජාතික ජල සම්පාදක හා මලාපවාහන මණ්ඩලයේ මූල්‍ය ශක්‍යතාව සහ තිරසරභාවය තහවුරු කර ගත යුතු බැවින් මෙම සංශෝධනය සිදුකරන බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

64b6579ca88d3

පාසැල්වල පළමු වාරය ජූලි 21 අවසන්

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරය ජූලි 21 වැනි දා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව දෙවන වාරයේ පළමු අදියර ජූලි 24දා ආරම්භ කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්.

64b63c743a9c8

අද ඩොලරයේ විකුණුම් මිල රු.328 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (18) ඉහළ යෑමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 314.95 ක් ලෙස හා විකුණුම් මිල රු 328.65 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් අයෙක් මරුට

උමාඔය ව්‍යාපෘති කාර්යාලයේ සේවකයන් ප්‍රවාහනය කළ බස්රථයක් අද (18) උදෑසන ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල උමා ඔය ව්‍යාපෘති කාර්යාලට නුදුරු ස්ථානයකදී ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්වී ඇති අතර එහි ගමන්ගත් තවත් 8 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි සඳහන් වන්නේ.

අද උදෑසන 7.15ට පමණ බස් රථය ගමන් ආරම්භ කළ බවත්, වේගයෙන් පැමිණි බස්රථයේ තිරිංග අක්‍රීය වීම හේතුවෙන් අනතුර සිදුවු බවයි එහි මගීන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

SL vs PAK 1st Test: පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අද

ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි (18).

ඒ අනුව අද දිනයේ උදෑසන කාලයේ තරගය පැවැත්වෙන ගාල්ල ප්‍රදේශයට බලපෑ වැසි සහිත කාලගුණයත් සමඟ තරගය ආරම්භ කිරීමට මදක් ප්‍රමාද වී ඇති අතර මේ වන විට ක්‍රීඩාංගනයේ ආවරණ ඉවත් කර තිබෙනවා.

පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමා වන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන පාකිස්තාන කණ්ඩායම කඩුලු 5  ක් දැවී ලකුණු 221 ක් ලබා සිටියා.

ඊයේ දිනය නිමා වන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටින අගා සල්මාන් ලකුණු 61 ක් හා සවුද් ශකීල් ලකුණු 69 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා.

ආරම්භක පිතිකරුවන් වූ ඉමාම් උල් හක් එක් ලකුණකටත්, අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 19 කටත් දැවීගිය අතර පන්දු 30 කින් වේගවත් ලකුණු 39 ක් රැස් කරමින් සිටි ශාන් මසූඩ් රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

නායක බාබර් අසාම් ලකුණු 13 ක් රැස්කළ අතර සර්ෆරාස් අහ්මඩ් ලකුණු 17 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය කඩුලු 3 ක්ද, කසුන් රාජිත සහ රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ල බැඟින්ද බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව පාකිස්තානය මේ වන විට පළමු ඉනිමේ දී ශ්‍රී ලංකාවට වඩා ලකුණු 91 ක් පිටුපසින් පසුවනවා.