X-Press Pearl එකඟතා සඳහා නීතිපති ඇතුළු කණ්ඩායම අද සිංගප්පූරුවට

X-Press Pearl නෞකා අනතුරින් වූ හානිවලට අදාළ එකඟතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය පත් කළ විශේෂ කණ්ඩායම අද (17) සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඒ අනුව නීතිපති සංජය රාජරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායම හෙට හා අනිද්දා ඊට අදාළ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.

නෞකා සහ රක්ෂණ සමාගම්වල නීතිඥයින් සහ නිලධාරීන් ඊට එක්වීමට නියමිතව තිබෙනවා.

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට 30,000 කට ආසන්න පිරිසක් Online අයදුම් කරයි

අන්තර්ජාලය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා මාසයක කාලයක් තුළ පුද්ගලයින් 30,000කට ආසන්න පිරිසක් අයදුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඒ අනුව පසුගිය ජුනි 15 වන දින සිට ජුලි 15 වනදා දක්වා ගතවූ දින 30 ක කාලය තුළ පුද්ගලයින් 29,578 දෙනෙකු ඒ සඳහා අයදුම් කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අයදුම් කළ පිරිසෙන් 5,294 දෙනෙකු එක්දින සේවය සඳහා ද 24,285ක් සාමාන්‍ය සේවය සඳහා ද අයදුම්පත් ඉදිරිපත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගයට සහයෝගය ලබා ගැනීමට සාකච්ඡා අද ආරම්භ කරයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත්  කිරීමට තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.

ඒ අනුව මේ සඳහා සහයෝගය ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ විපක්ෂ සියලුම පිරිස් සමඟ සාකච්ඡා කිරීම අද (17) ආරම්භ කරන බවයි ඔහු සඳහන් කළේ.

මෙම විශ්වාසභංගය ගෙන ඒම සිදුකරන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාට පමණක් නොවන බවත් රාජපක්ෂ වික්‍රමසිංහ ආණ්ඩුවට විරුද්ධව බවත් සමස්ත කැබිනට් මණ්ඩලයම මේ සඳහා වග කිවයුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වැඩිදුරටත් සඳහන් කළේ.

තරුෂි කරුණාරත්නගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන 25 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට තරුෂි කරුණාරත්න සහ ගයන්තිකා අබේරත්න සමත්වී තිබෙනවා.

මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ නව ආසියානු හා ශ්‍රී ලංකා වාර්තාවත් සමඟ රන් පදක්කම දිනාගෙන ඇති අතර ඇය තරගය 2:00.66 කින් නිමා කිරීමට සමත්ව තිබෙනවා.

මේ අතර එම තරග ඉසව්වේම ලෝකඩ පදක්කම ගයන්තිකා අබේරත්න විසින් දිනාගෙන ඇති අතර ඇය තරගය නිම කිරීම සඳහා 2:03.25 කාලයක් වාර්තා කර තිබෙනවා.

ප්‍රශ්නගත එන්නත් කාණ්ඩය භාවිතය තාවකාලිකව අත්හිටුවයි

පේරාදෙණිය රෝහලේදී එන්නතක් ලබාදීමෙන් පසු තරුණියක් මියයාමට හේතුවූ වූ එන්නත් කාණ්ඩය තාවකාලිකව භාවිතය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම එන්නතම භාවිතා කළ මහනුවර රෝහලේ රෝගීන් දෙදෙනෙකුට ආසාත්මිකතා මතුවූ බවත් මේ වන විට ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර සිදුකර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ.

රෝගීන්ගේ සුරක්ෂිත තාවය සඳහා තාවකාලිකව මෙම ඖෂධය තත්ත්ව රසායනාගාරයකට යවා පරික්ෂා කරන තෙක් මහනුවර රෝහලට සහ පේරාදෙණිය රෝහලට ලබාදී ඇති කාණ්ඩය තාවකාලිකව ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

රට බංකොලොත් වීමට හේතු සොයන්න විපක්ෂයෙන් විකල්ප කමිටුවක්

රට බංකොලොත් වීමට හේතු සෙවීම සඳහා ආණ්ඩුව විසින් පත්කළ කමිටුව වෙනුවට විපක්ෂය විසින් විකල්ප කමිටුවක් පත්කිරීමට තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

රට බංකොලොත්භාවයට පත්කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගියදා ආණ්ඩුව විසින් පත්කළ කමිටුව පටු දේශපාලන අභිප්‍රාය මුදුන් පමුණුවා ගැනීම සඳහා යොදා ගැනීමට ගත් කූට උපායමාර්ගයක් බවයි නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

ආණ්ඩුව විසින් යෝජනා කොට ඇති තේරීම් කාරක සභාවේ සංයුතියත් එහි සභාපති ධුරයට රට බංකොලොත්භාවට පත්වන විට බලයේ සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා පත්කිරීම පිළිබඳත් විමසා බලන විට, ආණ්ඩුවේ නිරුවත පැහැදිලි වන බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

64b386f458bf0

SL vs PAK 1st Test: කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා.

අද බස්නාහිර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අද (16) පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජාඇළ, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශවලට සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටත් ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකටත් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.

සපුගස්කන්ද විදුලි උපපොළෙහි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දිනයේ පැය අට හමාරක කාලයක් බියගම ජල පවිත්‍රාගාරයට ජලය සැපයීම අත්හිටුවීමට සිදුවීම හේතුවෙන් මෙලෙස ජල කප්පාදුවක් සිදුවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

SL vs PAK 1st Test: පළමු ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි

ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (16) ගාල්ලේදී ආරම්භ වනවා.

ඒ අනුව අද පෙරවරු 10.00 ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී තරගය ආරම්භ වීමට නියමිතයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය වේගවත් විය යුතුයි – IMF

G20 පොදු යාන්ත්‍රණයට ඇතුළත් නොවුවද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රගතියක් ලබමින් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ඒ අනුව එම ක්‍රියාවලිය වේගවත් විය යුතු අතර සාකච්ඡා පැවැත්වෙන කාලය තුළ ණය ගැති රටවලට යම් සහනයක් හිමිවිය යුතු බවයි එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් සඳහන් කළේ.

අමෙරිකාවේ, වොෂින්ටන් හී පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය හමුවකදී ඇය මේ බව ප්‍රකාශ කර තිබෙනවා.