අස්වැසුම සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක් ගැනීමට කැබිනට් අනුමැතිය

සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා.

අදාළ ණය මුදල ලබාගැනීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය සමග අදාළ ගිවිසුමට එළඹීමට ජනාධිපතිවරයා විසින් කළ යෝජනාවටයි කැබිනට් අනුමැතිය හිමිව තිබෙන්නේ.

ඒ අනුව අස්වැසුම සුබසාධන ගෙවීමට සහාය වීම සඳහා ඩොලර් මිලියන185ක් ද, තෝරාගත් ප්‍රතිලාභීන් ආර්ථික වශයෙන් සවිමත්  කිරීම සඳහා  ඩොලර් මිලියන 7ක් ද, සමස්ත ව්‍යාපෘතිය කළමනාකරණය සහ සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 6ක් ද වශයෙන් සංරචක තුනක් යටතේ එම ණය මුදල ලබාගැනීමට නියමිත බව අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් සඳහන්.

64bf9e20ab90f

SL vs PAK 2nd Test: ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 166 කට සීමා වෙයි

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් තරගය මේ වන විට කොළඹ SSC පිටියේදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 166 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 57 ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 34 ක්, රමේෂ් මෙන්ඩිස් ලකුණු 27 ක් හා දිමුත් කරුණාරත්න ලකුණු 17 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් Abrar Ahmed කඩුලු 4 ක් හා Naseem Shah කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත් වුණා.

මේවන විට පකිස්ථාන කණ්ඩායම සිය පළමු ඉණිම සඳහා පන්දුවට පහරදෙමින් සිටිනවා.

ලකුණු පුවරුව පහතින්.

64be5076ba6eb

SL vs PAK 2nd Test: කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් තරගය අද (24) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

අසිත ප්‍රනාන්දු සහ දිල්ෂාන් මදුෂංක දෙවන ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

දෙවැනි ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් තරගය අද (24) ආරම්භ වනවා.

ඒ අනුව තරගය අද පෙරවරු 9.30 ට කොළඹ SSC ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදු කිරීමට නියමිත බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

දුම්රිය වර්ජනය අවසන් වෙයි

දුම්රිය සේවකයන් පිරිසක් විසින් ක්‍රියාත්මක කළ වර්ජනය අවසන් කළ බව එම දුම්රිය වෘත්තීය සමිති පවසනවා.

කෙසේ නමුත් අද (24) දින දුම්රිය ප්‍රමාද වීම් හා දුම්රිය අවලංගුවීම් තවදුරටත් සිදුවිය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

දුම්රිය වර්ජනයට එරෙහිව දැඩි තීන්දුවක් ගැනීමට කටයුතු කරනවා – බන්දුල

ජනතාවට පීඩා ඇති කරමින් දුම්රිය වැඩ වර්ජන ක්‍රියාත්මක කිරීමට එරෙහිව කැබිනට් මණ්ඩලයේදී දැඩි තීන්දුවකට එළඹෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයෙන් ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්නා ලෙස වෘත්තීය සමිති දැනුවත් කර ඇති බවත්, එසේ නොමැතිව ජනතාව අතරමං කරන ආකාරයේ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නේ නම් ඒ සම්බන්ධයෙන් දැඩිව කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

දුම්රිය වැඩ වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ අද රැස්වන කැබිනට් මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි.

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය වසා දැමේ

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය ලබන ජුලි 31 වනදා සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඉන්පසු ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමඟ ද්විපාර්ශවික සබඳතා සඳහා කටයුතු කරනු ලබන්නේ ඉන්දියාවේ නවදිල්ලි නුවර නෝර්වේ තානාපති කාර්යාලය බවයි එම තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

ජයන්ත කැටගොඩගේ පනත් කෙටුම්පත ගැන නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

මහ නගර සභා හා පළාත් පාලන ආයතන සංශෝධිත පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය වන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවයි නීතිපතිවරයා අධිකරණයට දැනුම්දී ඇත්තේ.

අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත විධි විධානවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබුණු පෙත්සම් 27ක් අද (24) යළි විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ විසින් මහ නගර සභා හා පළාත් පාලන ආයතන සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් දෙකක් සලකා බැලීම ජුලි 26 දක්වා කල් තබයි

නියමිත පරිදි පසුගිය මාර්තු මස 09 වනදා පළාත් පාලන ඡන්දය විමසීම නොපැවැත්වීමට එරෙහිව ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම මේ මස 26 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

ඒ අනුව ජාතික ජන බලවේගය සහ පැෆ්රල් සංවිධානය විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් දෙකක් අද (24) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතව තිබුණා.

කෙසේ නමුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරයෙකු වන ප්‍රියන්ත ජයවර්ධන වෙනත් නඩු විභාගයකට සහභාගි වීම හේතුවෙන් මෙම පෙත්සම් සලකා බැලීම මෙලෙස කල් තැබීමට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

නියමිත පරිදි පසුගිය මාර්තු මස 09 වනදා පළාත් පාලන ඡන්දය විමසීම නොපැවැත්වීමෙන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

අද ඩොලරයේ විකුණුම් මිල රු.334 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (24) සැලකිය යුතු ඉහළ යෑමක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 321.10 ක් ලෙස හා විකුණුම් මිල රු 334.55 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.