සයිනොපෙක් පළමු ඉන්ධන තොගය ලබන මස මුලදී දිවයිනට

චීනයේ සයිනොපෙක් සමාගම සමඟ ඇති කරගත් ගිවිසුමට අනුව පළමු ඉන්ධන තොග ඇණවුම ලබන මස මුල් සතිය වන විට මෙරටට ළඟාවනු ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක පවසනවා.

ඒ අනුව සියලුම සමාගම්වලට බලපාන පරිදි මිල සූත්‍රය භාවිතා කරමින් ඉන්ධන සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඉදිරියේ දී සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර ඊට සාපේක්ෂව QR කේතය පිළිබඳ තීරණය ගැනීමට අපේක්ෂා කරන බවයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක වැඩිදුරටත් සඳහන් කළේ.

දුම්රිය වර්ජනය තවදුරටත්

දුම්රිය සේවකයින් පිරිසක් ආරම්භ කළ වැඩ වර්ජනය අද (24) තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ අනුව අද පෙරවරුවේ ධාවනය කිරීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 12 ක් පමණ අවලංගු විය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අතිකාල දීමනා කප්පාදු කිරීම, නියමිත උසස්වීම් ලබා නොදීම හා අවිධිමත් ලෙස සේවා වාර ධාවනාගාර අතර මාරු කිර්‍රමට විරෝධය පල කරමින් අසනීප නිවාඩු වාර්තා කර මෙම විරෝධතාව ආරම්භ කර ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.

ලිට්‍රෝ සහ ලාෆ්ස් මිල සමාන කිරීමට මිල සූත්‍රයක් හඳුන්වාදීමට පියවර

ලාෆ්ස් සහ ලිට්‍රෝ ගෑස්වල මිල ගණන් සමාන වන පරිදි මිල සූත්‍රයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

වෙළෙඳපොළේ පවතින ලිට්‍රෝ ගෑස් මිල සහ ලාෆ්ස් ගෑස් මිල අතර වෙනස රුපියල් 708 ක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගම සමඟ සාකච්ඡා කර ඇති බවත් ඉදිරි සතිය තුළ මිල සංශෝධනය පිළිබඳ එකඟතාවක් ලබාදීමට එම සමාගම පොරොන්දු වී තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

මේ වන විට ලිට්‍රෝ ගෑස් මිල සඳහා පමණක් ක්‍රියාත්මක මිල සූත්‍රය ලාෆ්ස් ගෑස් සදහාද ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත බවයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන්   කළේ.

නිවසක ගින්නකින් තරුණියක් මරුට

නාඳුනන පිරිසක් විසින් උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට ගිනි තැබීමෙන් එහි සිටි තරුණියක් මියගොස් තවත් පුද්ගලයන් 09 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අද (23) අලුයම වවුනියාව, තෝනික්කල් ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ, 21 හැවිරිදි ඕමන්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි සඳහන් වන්නේ.

මුහුණු ආවරණය කරගත් පිරිසක් පැමිණ නිවසට ගිනි තබා ඇති බවට CCTV දර්ශන මඟින් අනාවරණය කරගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 44 ක්, එක්දින තරග 127 ක් හා T20 තරග 26 ක් ක්‍රිඩා කර ඇති තිරිමාන්න එහිදී පිළිවෙලින් ලකුණු 2,088 ක්, 3,194 හා 291 ක් රැස් කර තිබෙනවා.

එහිදී ඔහු ටෙස්ට් ශතක 3 ක්, අර්ධ ශතක 10 ක් මෙන්ම එක්දින ශතක 4 ක් හා අර්ධ ශතක 21 ක් වාර්තා කිරීමටද සමත් වුණා.

මහ බැංකුවෙන් සියලුම බැංකුවලට දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍ර ලාභී සියලුම බැංකු වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ප්‍රතිපත්ති පොලී අනුපාත අඩුකිරීමට සාපේක්ෂව සියලු ණය පොලී අනුපාත පහත දැමීමට වහා පියවර ගන්නා ලෙසයි මහ බැංකුව දැනුම්දී ඇත්තේ.

එලෙස ණය පොලි අනුපාත ප්‍රමාණවත් ලෙස පහත නොදමන්නේ නම් හෝ ඒ සඳහා ප්‍රමාදවන්නේ නම් ඒ සම්බන්ධයෙන් මහ බැංකුවට පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවිය හැකි බවයි මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

ආනයනික පොල්තෙල් සඳහා බද්දක්

ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක් පැනවීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව ලබන සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික පොල්තෙල් ලීටරයක් සඳහා රුපියල් 25ක බද්දක් පැනවීම කෙරෙහි අවධානය යොමුවී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මේ පියවර ගත් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.

O/L 10 ශ්‍රේණියේදීත් A/L 12 ශ්‍රේණියේදීත් පැවැත්වීමට යෝජනාවක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව යෝජනා ඉදිිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 10  ශ්‍රේණියේදීත් අ.පො.ස උසස් පෙළ විභාගය 12  ශ්‍රේණියේදීත් පැවැත්වීමට සුදුසු බවට ඔවුන් නිර්දේශ කර ඇති බවයි එහි සභාපති අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සඳහන් කළේ.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයන්ගෙන් අදහස් ලබාගෙන ඉදිරි දශක දෙකක කාලය ඉලක්ක කර ගනිමින් මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම ප්‍රකාශයට පත් කෙරේ

අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය මත පදනම් වූ ශක්තිමත් ඉන්දු – ලංකා සබඳතාවක් වෙනුවෙන් දෙරට අතර පුළුල් ආර්ථික හවුල්කාරිත්ව දැක්මක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුව අද (21) පෙරවරුවේ නවදිල්ලි නුවරදී සිදු වූ අතර ඉතා සාර්ථක සහ ඵලදායී අන්දමින් පැවති එම සාකච්ඡාවෙන්  අනතුරුව දෙරට අතර ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම එළිදැක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

දිගුකාලීනව, රටවල් දෙකෙහි මෙන්ම කලාපයේ පුළුල් වර්ධනයක් සහ සමෘද්ධිය අරමුණු කරන මෙම හවුල්කාරිත්ව දැක්මෙහි කඩිනම් ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා කැපවන ලෙස මෙහිදී ඉන්දු –  ලංකා නායකයෝ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

සමුද්‍රීය කටයුතු, ගුවන් සබඳතා, බලශක්ති සහ විදුලිබල සබඳතා, වෙළෙඳ, ආර්ථික සහ මූල්‍ය සබඳතා, පුද්ගල සබඳතා යන ක්ෂේත්‍ර 05ක් ඔස්සේ මෙම හවුල්කාරිත්ව දැක්ම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

බැංකු විශේෂ විධිවිධාන පනත සම්මත වෙයි

බැංකු විශේෂ විධිවිධාන පනත අද (21) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

ඒ අනුව සංශෝධන සහිතව එය සම්මත වී ඇති බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.