මැනිං වෙළෙඳපොළේ විරෝධතාවක නිරත වූ පිරිසක් අත්අඩංගුවට

අධිකරණ නියෝගයක් කඩකරමින් පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ විරෝධතාවයක නිරත වූ පිරිසක් අද (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැනිං වෙළෙඳපොළේ කඩ කාමර බාහිර පාර්ශව වෙත ලබාදීමට එරෙහිව ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ බවයි මැනිං පොදු වෙළඳ සංගමයේ සභාපති එච්.එම්. උපසේන සඳහන් කළේ.

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ අද පැවැත්වෙන උද්ඝෝෂණය වළක්වාළමින් ඊයේ (25) අධිකරණය විසින් නියෝග කර තිබූ අතර ඔවුන් එය නොතකමින් විරෝධතාවයේ නිරත වුණා.

පසුව පොලීසිය විසින් විරෝධතාවයේ නිරත වූ මැනිං පොදු වෙළඳ සංගමයේ සභාපතිවරයා ඇතුළු 12 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රජයේ මිනින්දෝරු නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

රජයේ මිනින්දෝරු නිලධාරීන් ලෙඩ නිවාඩු වාර්තා කරමින් අද (26) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මේ වනවිට උද්ගතවී ඇති මානව හා සම්පත් ගැටලුව ඇතුළු තවත් ගැටලු කිහිපයකට විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් එම ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උඳුගොඩ සඳහන් කළේ.

අද පැවැත්වෙන විරෝධතාවට ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් යළිත් අගෝස්තු 02 වනදා ලෙඩ නිවාඩු වාර්තා කර උද්ඝෝෂණයක් පවත්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට නව උප කුලපතිවරයෙක් පත් කෙරේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම්. මානගේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කර තිබෙනවා.

ඒ අනුව වසර තුනක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙම පත්වීමට පෙර මහාචාර්ය මානගේ උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

සර්ව පාක්ෂික සමුළුව සම්බන්ධයෙන් ජවිපෙ සහ සජබ තීරණයක් ගනී

ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට (26) සංහිඳියා වැඩසටහන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත ඇරයුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අදාළ සාකච්ඡාවට සම්බන්ධවීම සම්බන්ධයෙන් හෙට දිනයේ තීරණය කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කළා.

එසේම මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහභාගී නොවන බව සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළා.

අද ඩොලරයේ විකුණුම් මිල රු.336 දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (25) නැවතත් ඉහළ යෑමක් සිදුව තිබෙනවා.

ඒ අනුව, අද ඩොලරයක ගැනුම් මිල රු. 323.03 ක් ලෙස හා විකුණුම් මිල රු 336.16 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙන්නේ.

EPF/ETF කොල්ලයට සහ අසාධාරණ කම්කරු නීතිවලට එරෙහිව වෘත්තීය සමිති රැසක් විරෝධතාවක

සේවක අරමුදල් කොල්ලයට හා අසාධාරණ කම්කරු නීති සංශෝධනයට එරෙහිව අද (25) කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුණා.

මේ සඳහා වෘත්තීය සමිති රැසක් නියෝජනය කරමින් විශාල පිරිසක් පැමිණ වර්ෂාව මධ්‍යයේ සිය විරෝධතාව දැක්වීමට කටයුතු කර තිබුණා.

මෙහිදී විරෝධතාවට එක්වෙමින් අන්තර් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සඳහන් කළේ, සේවක අර්ථසාධක අරමුදල කොල්ලකන දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව හකුලාගන්නා තුරු මෙම සටන ඉදිරියටම සිදුකරන බවයි.

සේවක අර්ථසාධක අරමුදලට අත තැබීම නවත්වන ලෙසත්, ඊනියා කම්කරු නීති හකුලා ගන්නා ලෙසත්, ආණ්ඩුවට බලකර සිටින බවද අද පැවති විරෝධතාව සංකේතාත්මක විරෝධතාවක් පමණක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 175 ක් අලුත්වැඩියා කර යළි ධාවනයට

ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 175ක් අලුත්වැඩියා කර නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක්කර තිබෙනවා.

ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

රටේ පැවති ආනයන සීමා හේතුවෙන් ඇතිවූ අමතර කොටස් හිඟය සහ මිලදී ගැනීමේ මූල්‍ය දුෂ්කරතා නිසා ඉවත් කර තිබූ බස් රථ මෙලෙස අලුත්වැඩියා කර තිබෙනවා.

වසර 03කට අධික කාලයක් ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 852 කින් බස් රථ 400ක් නැවත අලුත්වැඩියා කිරීමට මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ ඩිපෝ මට්ටමින් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබූ අතර, ඒ යටතේ වැඩ නිම කෙරුණු මෙම බස් රථ 175 සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 300කට ආසන්න බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

බෙදුණු නඩු තීන්දුවක් හේතුවෙන් ඩයනාට එරෙහි පෙත්සම යළි විභාගයට ගැනීමට නියෝග

ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ රීට් පෙත්සම යළි විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා.

ඒ අනුව පෙත්සමේ තීන්දුව අද (25) අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ අතර එහිදී සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සඳහන් කළේ, තමා සහ විනිසුරු මරික්කාර් අතර බෙදුණු නඩු තීන්දුවක් පවතින බවයි.

මේ හේතුවෙන් එම නඩුව පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ යළි විභාගයට ගන්නා ලෙස නියෝග කර ඇති අතර පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 14 වන දින සිදු කිරීමට නියෝග කර තිබෙනවා.

ජෝන් හොප්කින්ස් සරසවියේ ප්‍රධාන තනතුරකට ශ්‍රී ලාංකිකයෙක්

අමෙරිකා එක්සත් ජනපදයේ සුප්‍රකට ජෝන් හොප්කින්ස් සරසවියේ අධ්‍යාපන ප්‍රධානියා ලෙස ශ්‍රී ලාංකිකයෙක් පත්ව තිබෙනවා.

ඒ අනුව කීර්තිමත් ශ්‍රී ලාංකික තාරකා භෞතික විද්‍යාඥයෙකු වන රේ ජයවර්ධන මෙලෙස පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

ඔහු යේල් සරසවියෙන් තාරකා විද්‍යා සහ භෞතික විද්‍යාව හදාරා ඇති අතර හාවඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිධාරියෙක් වන ඔහු සුර්යග්‍රහ මණ්ඩලවල විවිධත්වය, මූලාරම්භය සහ පරිණාමය පිළිබඳ පර්යේෂණ රැසක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ඔහුගේ පත්වීම විශ්ව විද්‍යාල භාරකාර මණ්ඩලයේ විධායක කමිටුව අනුමත කර ඇති අතර ඔහු විශ්ව විද්‍යාලයේ ප්‍රධාන අධ්‍යයන නිලධාරියා ලෙස සේවය කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මෙරට භාවිත වන ඖෂධවලින් 80% ක් ඉන්දියාවෙන් ආනයනය කරන බවට අනාවරණයක්

මෙරටට ආනයනය කරනු ලබන ඖෂධවලින් 80% ක් ඉන්දියාවෙන් ආනයනය කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සභාපතිත්වයෙන් පැවති සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් විසින් මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

පේරාදෙණිය රෝහලේ සිදුවීම සිදුවන අවස්ථාවේ එම වාට්ටුවේම සිටි රෝගීන් 12 දෙනෙකුට ආන්දෝලනයට තුඩුදුන් අදාළ ඖෂධ කාණ්ඩය ලබාදී ඇති බවත්, එම ඖෂධ කාණ්ඩය මෙම වසර තුළ මේ දක්වා කාලය තුළ 167,000 කට භාවිතා කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී සඳහන් කර තිබෙනවා.

දිස්ත්‍රික් මට්ටමින් රෝහල් ආශ්‍රිතව පවතින ගැටලු, නිලධාරීන් සම්බන්ධ පුරප්පාඩු, ඖෂධ සහ උපකරණ හිඟය පිළිබඳව ද සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව වාර්තා වනවා.