මැතිවරණ ප්‍රතිඵල අවලංගු කිරීමට උත්සාහ දැරීම ගැන ට්‍රම්ප්ට අධිචෝදනා

2020 අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල අවලංගු කිරීමට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ දැරීම සම්බන්ධයෙන් එරට අධිකරණයක් මඟින් අධිචෝදනා ගොනුකර තිබෙනවා.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පිටු 45කින් යුත් අධිචෝදනා පත්‍රයේ චෝදනා හතරක් ගොනුකර ඇති බවයි.
කෙසේ වෙතත් හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අක්ෂි සැත්කම්වලින් පසු භාවිතා කළ ඖෂධයකින් සංකූලතා ඇතිවීමේ සිදුවීම ගැන පරීක්ෂණ ආරම්භ කරයි

අක්ෂි සැත්කම් සිදු කිරීමෙන් පසු භාවිතා කළ ඖෂධයකින් සංකූලතා ඇති වු සිද්ධීන් සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම් ආර්.එම්.එස්.කේ. රත්නායක පවසනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය ලේකම්වරයා විසින් 10 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත්කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

මේ වන විට ඖෂධය ගෙන්වන ලද ආයතනය, ඖෂධය පාවිච්චි කරන ලද ආයතන සහ ඖෂධ පාවිච්චි කරන ලද රෝගීන් සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබාගෙන ඇති බවද ඔහු සඳහන් කළා.

ලබාගත් තොරතුරු මත සියලුම දත්ත වාර්තා විශ්ලේෂණය කර සම්පූර්ණ වාර්තාවක් සෞඛ්‍ය ලේකම්වරයාට භාරදීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග අමාත්‍යංශය විසින් තීරණය කරනු ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම් ආර්.එම්.එස්.කේ. රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රවීණ මාධ්‍යවේදී ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ මාධ්‍යවේදියෙක්, හඩකැවීම් ශිල්පියෙක් සහ රංගන ශිල්පියෙක් වන ලාල් සරත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 69 වන වියේ පසු වුණා.

LPL 2023 : ඊයේ තරග සාරාංශය

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B-Love Kandy කණ්ඩායම හා Colombo Strikers කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 27 ක ජයක් වාර්තා කිරීමට Colombo Strikers කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Colombo Strikers කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 157 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී Colombo Strikers කණ්ඩායම වෙනුවෙන් Babar Azam ලකුණු 59 ක්, නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 28 ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ B-Love Kandy කණ්ඩායමට සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 130 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී B-Love Kandy කණ්ඩායම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 25 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Colombo Strikers කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 3 ක්, Naseem Shah හා ජෙෆරි වෙන්ඩෙසේ කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

මේ අතර ඊයේ දිනයේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Galle Titans හා Dambulla Aura කණ්ඩායම් අතර පැවති තරගය සුපිරි පන්දුවාරයෙන් ජය ගැනීමට Galle Titans කණ්ඩායම සමත් වුණා.

ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 12 කට තුවාල

කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඒ අනුව කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ වටවල සිංහල විදුහල අසලදී එම අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

අනතුරෙන් බස් රථයේ ගමන් ගත මගින් 12 දෙනෙකු පමණ තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර ඇති බවත්, බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරුවන් පස්දෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි සඳහන් වන්නේ.

ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු බස් රථයකට ඉඩ ලබාදිමට යාමේදී බස් රථය මෙලෙස මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් එම අනතුර සිදුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඇසළ පුර පසළොස්වක පොහොය අද

ඇසළ පුර පසළොස්වක පොහොය අදට (01) යෙදී තිබෙනවා.

සිදුහත් කුමරා මවු කුස පිළිසිඳ ගැනීම, අභිනිෂ්ක්‍රමණය, බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව වූ ‘ධම්මචක්ක පවත්තන සූත්‍රය’ දේශනා කිරීම යන කරුණු නිසා ඇසළ පොහෝ දිනය බෞද්ධ ජනතාවට ඉතා වැදගත් වනවා.

රාහුල කුමරුගේ උපත සිදුවීම, තීර්ථකයන්ගේ මානය බිඳීම සඳහා ගන්ධබ්බ රුක් මූලයේදී යමාමහ පෙළහර පෑම, කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ කාලයේ සියම් රටින් උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව යළි ඇති කිරීම ඇසළ පෝය දවසේ සිදුවූ බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

CEYPETCO ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය තිබෙනවා.

මිල වැඩි වූ ඉන්ධන වර්ග:

* පෙට්‍රල් 92 – රු.20  කින්  (නව මිල රු.348)

* පෙට්‍රල් 95 – රු.10 කින්  (නව මිල රු.375)

* සුපර් ඩීසල් – රු.12 කින් (නව මිල රු.358)

මිල අඩු වූ ඉන්ධන වර්ග:

* ඔටෝ ඩීසල්  – රු.02 කින් (නව මිල රු.306)

* භූමිතෙල් – රු.10 කින් (නව මිල රු.226)

64c7e01e891bfpdf_page_0

සමනල වැව ජලාශයෙන් ජලය නිකුත් කළොත් දකුණු පළාතට පැය 4 ක් විදුලිය කපන්න වෙනවා – කංචන

සමනල වැව ජලාශයෙන් ජලය නිකුත් කිරීමට කටයුතු කළහොත් ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්කවලට අවම පැය 4 ක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව සමනල වැව ජලාශයේද මේ වන විට ජල මට්ටම අඩුවී ඇති බවත් එයින් ජලය නිකුත් කළද ගොවිතැන් කළ හැක්කේ දින තුනක් හතරක් පමණක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම තත්ත්වය යටතේ විදුලිය කප්පාදුවකින් තොරව නිකුත් කළ කැකි ජල ප්‍රමාණය පමණක් නිකුත් කිරීමට කටයුතු කළ යුතු බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම පිළිබඳ පරීක්ෂණයක්

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ජාතික ගීය හිතුමතේ වෙනස් කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන බවයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් කේ. ඩී. එන්. රංජිත් අශෝක වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

64c7b7de4eda9