LPL 2023: Dambulla Aura කණ්ඩායමට ලකුණු 181 ක ඉලක්කයක්

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Galle Titans හා Dambulla Aura කණ්ඩායම් අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Dambulla Aura කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Galle Titans කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 180 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී Galle Titans කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ ලකුණු 48 ක්, ශෙවෝන් ඩැනියල් ලකුණු 33 ක් සහ නායක දසුන් ශානක නොදැවී ලකුණු 42 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Dambulla Aura කණ්ඩායම වෙනුවෙන් Shahnawaz Dahani කඩුලු 2 ක්ද බිනුර ප්‍රනාන්දු හා ධනංජය ද සිල්වා කඩුලු 1 බැඟින්ද බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව Dambulla Aura කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 181 ක්.

ලකුණු පුවරුව පහතින්.

64c798746fa1f

LPL 2023: කාසියේ වාසිය Dambulla Aura කණ්ඩායමට

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Galle Titans හා Dambulla Aura කණ්ඩායම් අතර තරගය අද (31) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Dambulla Aura කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

LPL 2023: අද පැවැත්වෙන තරග

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (31) තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පළමු තරගය Galle Titans  හා Dambulla Aura කණ්ඩායම් අතර පැවැත්වෙන අතර එම තරගය පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතයි.

එසේම B-Love Kandy කණ්ඩායම හා Colombo Strikers කණ්ඩායම අතර තරගය අද රාත්‍රී 7.30 ට පැවැත්වෙනවා.

LPL 2023: ඊයේ තරග සාරාංශය

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Colombo Strikers කණ්ඩායම හා Jaffna Kings අතර පැවති තරගයෙන් ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට Jaffna Kings කණ්ඩායම සමත් වුණා.

අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Colombo Strikers කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Jaffna Kings කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 173 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී Jaffna Kings කණ්ඩායම වෙනුවෙන් Towhid Hridoy ලකුණු 54 ක්, දුනිත් වෙල්ලාලගේ ලකුණු 25 ක්, ප්‍රියමාල් පෙරේරා ලකුණු 22 ක් හා Rahmanullah Gurbaz ලකුණු 21 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී Colombo Strikers කණ්ඩායම වෙනුවෙන් ලක්ෂාන් සඳකැන්, චාමික කරුණාරත්න, මතීෂ පතිරණ සහ Naseem Shah එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Colombo Strikers කණ්ඩායමට පන්දුවාර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 152 ක් පමණයි.

Colombo Strikers කණ්ඩායම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල පන්දු 34 කින් ලකුණු 58 ක් රැස් කළ අතර Babar Azam ලකුණු 7 ක්, නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 17 ක්, චාමික කරුණාරත්න ලකුණු 23 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Jaffna Kings කණ්ඩායම වෙනුවෙන් Hardus Viljoen කඩුලු 3 ක්, දිල්ෂාන් මදුෂංක හා විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

අනුර ඇතුළු පිරිසකට කොළඹ ස්ථාන කිහිපයක උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

කොළඹ ප්‍රධාන ස්ථාන කිහිපයක මහජන පීඩාවක් වන පරිදි උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසකට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද දහවල් 12.00 සිට පස්වරු 06.00 දක්වා කාලය තුළ ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, පොලිස් මූලස්ථානය, කොටුව දුම්රිය ස්ථානයේ සිට CTO මංසන්ධිය දක්වා වන ඕල්කට් මාවත, CTO මංසන්ධියේ සිට සෙරමික් මංසන්ධිය NSA වටරවුම දක්වා ඇති ලෝටස් මාර්ගය ආශ්‍රිතව උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කර තිබෙනවා.

එසේම යෝර්ක් වීදිය, බැංකු මාවත, චැතැම් මාවත, මුදලිගේ මාවත, බාරොන් ජයතිලක මාවත, පොලිස් මූලස්ථානය ඉදිරිපිට, බාලදක්ෂ මාවත චෛත්‍ය පාර, ජනාධිපති මාවත, ගාලු මුවදොර වටරවුමේ සිට NSA වටරවුම දක්වා ගාලු පාර ද ජනාධිපති ලේකම් කාර්යාලය වෙතද ගාලු මුවදොර පිටිය පරිශ්‍රයේද උද්ඝෝෂණ සහ පා ගමන් පැවැත්වීම තහනම් කර ඇති බවයි සඳහන් වන්නේ.

පැයක දෙකක විදුලිය කප්පාදුවක් සිදුවුවත් ගොවිතැන් සඳහා ජලය නිකුත් කිරීම අත්‍යවශ්‍යයෙන්ම සිදුකළ යුතුයි – කෘෂිකර්ම ඇමති

පවතින වියලි කාලගුණ තත්ත්වය හමුවේ උඩවලව ජලාශයේ ජල මට්ටම සැලකිය යුතු පහළ යාම හේතුවෙන් ඒ යටතේ වගා කර ඇති කුඹුරු අක්කර 50,000 කට වැඩි ප්‍රමාණයකට ජලය සපයා ගැනීමේ ගැටලුවක් මතුව තිබෙනවා.

පවතින තත්ත්වය යටතේ ගොවිතැන් කටයුතු සඳහා උඩවලව ජලාශයට සමනල වැවෙන් ජලය නිකුත් කළහොත් දකුණු පළාත තුළ විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවදානමක් මතුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය පවසනවා.

ඒ අනුව එහි මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ සඳහන් කළේ, ඉල්ලුම් කරන පරිදි ජල මුදාහැරීම සිදු කළහොත් විදුලි ජනනය සඳහා ජලය නොමැති වන බවයි.

එලෙස නිකුත් කරන්නේ නම් හදිසි විදුලිය ලබා ගැනීමක් සිදුකළ යුතු බවත්, එසේ නොමැති නම් යම් මට්ටමක විදුලිය කප්පාදුවක් දකුණු පළාත තුළ සිදු කිරීමට සිදුවන බවද ඔහු සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ, මේ අවස්ථාවේදී සිදුකළ හැකි හොඳම දෙය වන්නේ පැයක දෙකක විදුලිය කප්පාදුවක් සිදුවුවද රටේ ආර්ථික තත්ත්වය ගැන සලකා බලා ගොවිතැන් සඳහා ජලය නිකුත් කිරීම අත්‍යවශ්‍යයෙන්ම සිදුකළ යුතු බවයි.

වියලි කාලගුණය හමුවේ පළාත් කිහිපයක ජලාශ රැසක ජල මට්ටම් පහතට

උතුරු, උතුරු මැද හා නැගෙනහිර පළාත ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට බලපෑ ඇති දැඩි වියලි කාලගුණ තත්ත්වය හමුවේ ජලශ රැසක ජල මට්ටම් සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙනවා.

ඒ අනුව මෙම කළාපයට අයත් ජලාශ 6000 ක පමණ ජලය සිඳී ගොස් ඇති අතර අනුරාධපුර, පොළොන්නරුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලද වැව් රැසක ජල මට්ටම් පහත බැස ඇති බවයි සඳහන් වන්නේ.

මෙම ප්‍රදේශවලට වැසි ලැබේවි යැයි බලාපොරොත්තු විය හැක්කේ ඔක්තෝම්බර් මාසයේදී බවත්, පවතින තත්ත්වය යටතේ අත්‍යවශ්‍යම කටයුතු සඳහා පමණක් ජලය භාවිතා කරන ලෙසයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඉල්ලා සිටින්නේ.

මෙම තත්ත්වය යටතේ ලැබෙන ජල ප්‍රමාණය ප්‍රවේශමෙන් පරිහරණය කරන ලෙසත් වාහන සේදීම, පැළවලට වතුර දැමීම වැනි දේ සිදු නොකර පානීය ජලය සහ අනෙකුත් අවශ්‍යතාවයන් සඳහා පමණක් භාවිතා කරන ලෙසයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රදේශීය කළමණාකරු සිදත් කස්තුරිආරච්චි වැඩි දුරටත් සඳහන් කළේ.

කෙහෙළියට එරෙහි විශ්වාසභංගය ගැන සාකච්ඡාවකට විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට තීරණය කෙරේ

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවට විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට රැස්වීමට නියමිතව තිබෙන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

ඒ අනුව අදාළ සාකච්ඡාව මෙම සතිය තුළ පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කළේ.

අදාළ විශ්වාසභංගය සම්බන්ධයෙන් කඩිනමින් විවාදයක් ලබාදෙන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමට අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ප්‍රමිති ගැටලු හේතුවෙන් මාස 7 ක් තුළ ඖෂධ 65 ක් භාවිතයෙන් ඉවතට

වසරේ ගතවූ කාලය තුළ ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් ඖෂධ 65 ක් භාවිතයෙන් ඉවත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව වෛද්‍ය සැපයුම් අංශයට ගෙන්වන ලද ඖෂධ අතරින් සෑම වසරකම ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් ලැබෙන පැමිණිලි මත පරීක්ෂණ සිදුකර ඖෂධ 80 ත් 100 ත් අතර ප්‍රමාණයක් භාවිතයෙන් ඉවත් කිරීමට සිදුකරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ එහි අතිරේක ලේකම්, විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක සඳහන් කළේ.

ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් 2023 වසරේදී මේ දක්වා ඖෂධ 65 ක් භාවිතයෙන් ඉවත්කර ඇති අතර ඒ යටතට ඉන්දියානු ණය ආධාර යටතේ ගෙන්වන ලද ඖෂධයක් ද වන බවයි ඔහු සඳහන් කළේ.

අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස ගැන අනාවරණයක්

මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් 50,000 ක පමණ පිරිසක් සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා.

ඒ අනුව සෙසු මත්ද්‍රව්‍යයන්ට සාපේක්ෂව එහි ව්‍යාප්තිය අවදානය යොමුකළ යුතු මට්ටමක පවතින බවයි එහි සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර සඳහන් කළේ.

එසේම අයිස් මත්ද්‍රව්‍යය පාසල් පද්ධතිය තුළ ව්‍යාප්ත වී නොමැති බවට සාම්පල් මගින් තහවුරු වූ බවත් පසුගිය මාස 6 ක කාලය තුළද අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් පාසල් වයසේ පසුවන කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඔහු සඳහන් කළා.

කෙසේ නමුත් පාසල් පද්ධතිය තුළ දුම්කොළ භාවිතයේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළේ.