උතුරේ ඉඩම් වලින් 92% ක් පමණ මේ වන වි​ට ක්‍රම ක්‍රමයෙන් නිදහස් කර තිබෙනවා – ජනපති

ආරක්‍ෂක අංශ සහ පොලීසිය 2009 වසරේ අත්පත් කරගෙන සිටි උතුරේ ඉඩම් වලින් 90% ත් 92% ත් අතර ප්‍රමාණයක් ක්‍රමයෙන් නිදහස් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මේ සඳහා අක්කර 22,919 ක් ඇතුළත් වන අතර රජය සතු අක්කර 817 ක් සහ පෞද්ගලික ඉඩම් අක්කර 22,101 සමත්විත වන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

මේ වන විට ආරක්ෂක හමුදා සහ පොලීසිය භාරයේ තිබෙන ඉඩම් ප්‍රමාණය අක්කර 3,754 ක් වන අතර අක්කර 862 ක් රජය සතු සහ අක්කර 2892 ක් පුද්ගලික සතු වන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

රටේ ස්වෛරීභාවයට සහ ඒකීයභාවයට තර්ජනයක් වන ආකාරයේ ක්‍රියාවල නිරත නොවන බවට සහතික වන බවත් ජාතික සංහිඳියාව හඹායෑමට සාධනීය ලෙස සහභාගී වන ලෙස සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කිරීමට සූදානම් – ජනපති

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ජාතියේ වර්ධනයට සහ අනාගතයට ගැළපෙන අයුරින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙනවා.

ඒ අනුව මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා පුළුල් හා විවෘත මනසකින් යුත් සාකච්ඡා තුළින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සම්මුතියක් අවශ්‍ය බවයි අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

විපක්ෂය රජය ගනු ලබන සෑම තීරණයකටම විරුද්ධ වීමේ සාම්ප්‍රදායික මතයෙන් බැහැරවිය යුතු බවත් තීරණ ගැනීමේදී විපක්ෂ අදහස් සලකා බැලීමට, වඩාත් සමබර සහ සහයෝගී දේශපාලන පරිසරයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මේ රටේ උත්තරීතර නීතිය බවත්, එය නොසලකා සිටීමට හැකියාවක් නොමැති අතර එය ක්‍රියාත්මක කිරීමට විධායකයත්, ව්‍යවස්ථාදායකයත් බැඳී සිටින බවද ඔහු පාර්ලිමේන්තුව හමුවේ අවධාරණය කළා.

පළාත් සභා සම්බන්ධයෙන් නව නීති පිහිටුවා ගැනීමෙන් අනතුරුව පළාත් සභා ඡන්ද විමසීමේ පනත සංශෝධනය කිරීමට සූදානම් බවත් පළාත් සභා ක්‍රියාත්මක වන තෙක් පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබාදීමට උපදෙස් කමිටුවක් පත්කිරීමට රජයේ අවධානය යොමුව ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ණය සීමාව ඉහළ දැමීමට අදාළ දෙවැනිවර කියවීමේ විවාදය අද

පාර්ලිමේන්තුව අද (09) දෙවන දිනටත් රැස්වීමට නියමිතව තිබෙනවා.

විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 4,979 සිට රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීමට මෙම පනත් කෙටුම්පත මගින් යෝජනා කර තිබෙනවා.

එසේම පසුගිය ජූලි 21 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කළ පරිදි ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සහ ධීවර හා ජලජ සම්පත් පනත යටතේ වන නියෝග පිළිබඳ විවාදය ද අද පැවැත්වීමට නියමිතයි.

EPF-ETF කප්පාදුවට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අන්තර් සමාගම් සේවක සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව දීර්ඝ කරුණු විමසා බැලීමකින් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අන්තර් සමාගම් සේවක සංගමය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

බලහත්කාරයෙන් මහ බැංකුවට ඇතුළු වූ පිරිසට ඇප

බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුලුවීමට උත්සාහ ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් 10 දෙනෙකු ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලක්ෂ 10ක ශරීර ඇප මත මුදා හැරීමටත් සැකකරුවන්ට රාජ්‍ය ආයතනය වෙත අයුතු ලෙස ඇතුලුවීම තහනම් කිරීමටද නියෝග කළා.

ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් ඊයේ (08) පෙරවරුවේ බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුලු වූ අතර, පසුව පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.

රෝහල් තුළ සිදුවූ මරණවලින් 05 ක් ඖෂධ ආසාත්මිකතා හේතුවෙන් සිදුවී ඇති බව හෙළිවේ

පසුගියදා රෝහල් තුළ සිදුවූ ආන්දෝලනාත්මක මරණ හයෙන් 05 කට හේතු වී ඇත්තේ ඖෂධ ආසාත්මිකතාවන් බවට ඒ පිළිබඳ සෙවීමට පත්කළ විශේෂඥ වෛද්‍ය කමිටුව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

එම මරණ පිළිබඳ සොයා බැලීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය දේදුනු ඩයස්ගේ සභාපතීත්වයෙන් යුත් සත් සාමාජික කමිටුවක් පත් කළ අතර එම කමිටුව සිය නිර්දේශ ඇතුළත් වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශයට භාරදී තිබෙනවා.

අදාළ විශේෂඥ කමිටු වාර්තාවේ නිගමනය වී ඇත්තේ කමිටුවේ අවධානය යොමු වූ මරණ හයෙන් 05 කට හේතු වී ඇත්තේ ඖෂධ ආසාත්මිකතාවන් බවත්, ඉන් 04 ක් සැකකටයුතු ඖෂධය හේතුවෙන් වීමට බොහෝ විට ඉඩ තිබෙන බවයි.

එමෙන්ම එම ඖෂධය සම්බන්ධ තත්ත්ව පරීක්ෂණ වාර්තා ද නොතිබූ බවද අදාළ වාර්තාවේ දැක්වෙනවා.

64d367f7b9db0 64d367f7ca7d1 64d367f7d2c65

මීරිග​ම දුම්රිය අනතුරෙන් පසු ද්විත්ව දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක් ධාවනයට විවෘත කෙරේ

අද (09) උදෑසන මීරිගම විල්වත්ත ප්‍රදේශයේදී සිදුවු දුම්රිය අනතුරත් සමග ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබු අතර මේ වනවිට එහි ද්විත්ව දුම්රිය මාර්ගයෙන් එක් මාර්ගයක් පමණක් දුම්රිය ධාවනයට විවෘත කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අනතුරට ලක්වූ දුම්රියට පසු ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය 12 ක් ගාල් කර ඇති බැවින් ඒවා එකින් එක තනි දුම්රිය මාර්ගයේ ධාවනය කරවීමට සලස්වන බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඉඳිපොලගේ සඳහන් කළේ.

ඒ අනුව දුම්රිය යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්. ජේ ඉඳිපොලගේ වැඩිදුරටත් සඳහන් කළේ.

නාමල්ගේ විදුලි බිල ගෙව්වාම රටේ විදුලි ප්‍රශ්නය විසඳෙනවා නම් මම බිල ගෙවන්නම් – නාමල්

තමන්ට ගෙවීමට ඇති බවට සඳහන් වූ විදුලි බිල සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයෙන් සිදුකළ විමසීමට තවමත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ අනුව තමාට හෝ තම පියාට කිසිදු විදුලි බිලක් මේ වන තෙක් ලැබී නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කළේ.

තමන්ගේ මංගල උත්සවයට විදුලිය ලබාගත්තේ විදුලි උත්පාදන යන්ත්‍රවලින් බවත්, මංගල උත්සවයට විදුලිය ලබාදෙන ලෙස ඉල්ලීමක් තමා නොකළ බවත්, ආරක්ෂාව සඳහා විදුලිය ලබාදෙන ලෙස ඩී.වී.චානක මන්ත්‍රීවරයා විසින් ඉල්ලීමක් කර තිබූ බවද ඔහු සඳහන් කළා.

විදුලි බිලක් ඇත්නම් එය ලැබීමට සලස්වන ලෙසත් නොලැබුණ විදුලි බිලක් ගෙවීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, නාමල් රාජපක්ෂගේ විදුලි බිල ගෙවූ පසු රටේ විදුලි ප්‍රශ්නය විසඳෙන බවට හෝ විහාරස්ථානවලට නොමිලේ විදුලිය ලබාදිය හැකි බවට කවුරුන් හෝ දේශපාලන වේදිකාවේ ප්‍රකාශ කරන්නේ නම් තමන්ට එවැනි බිලක් නොලැබුනත් එය ගෙවීමට සූදානම් බවයි.

මීරිගම දුම්රිය අනතුරක් – විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසියෙන් දැනුම්දීමක්

මීරිගම, විල්වත්ත ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඒ අනුව මේ වනවිට එම ප්‍රදේශයේ වාහන තදබදයක් ඇතිව තිබෙන අතර විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

කොළඹ සිට පස්යාල හන්දියෙන් මීරිගම අධිවේගි මාර්ගය දක්වා ගමන් කරන වාහන පස්යාල හන්දියෙන් ඇතුළුවීමට නොහැකි අතර කොළඹ – මහනුවර මාර්ගය භාවිත කළ හැකි බවත් දිවුලපිටියේ සිට ගමන් ගන්නා වාහන මීරිගම නගරයෙන් වමට හැරී දංඹ්විට හා වරකාපොළ මාර්ගවලට පිවිස කොළඹ – මහනුවර මාර්ගයට පිවිසීීීමටත් හැකියාව පවතිනවා.

මීරිගම අධිවේගි පිවිසුම් මාර්ගයෙන් පිටවී කොළඹ හා දිවුලපිටිය ප්‍රදේශවලට ගමන් කරන වාහන හද්දාමුල්ල හන්දියෙන් වමට හැරී කොළඹ – කුරුණෑගල මාර්ග අංක 5 මාර්ගයට පිවිස ගමන් කළ හැකි බව ද පොලීසිය පවසනවා.

මේ අනතුර හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

64d3108488353

64d3108495ad7

ජනපතිගෙන් හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (09) දිනයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව රටේ වත්මන් ආර්ථික තත්ත්වය සහ අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.