සෞඛ්‍ය සේවකයන් අද දහවල් කෑම පැ​යේ විරෝධතාවල

රටේ පවතින ඖෂධ හිඟය ඇතුළු සිය ක්ෂේත්‍රයේ පවතින විෂමතාවන් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් අද (22) රෝහල් ඉදිරිපිට විරෝධතා සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව දහවල් කෑම පැය තුළ මෙම විරෝධතා පැවැත්වීමට තීරණය කර ඇති අතර රෝගී ප්‍රතිකාර සඳහා බාධාවක් නොවන අයුරින් මෙම විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.

සමස්ත ලංකා වෛද්‍ය හා සෞඛ්‍ය වෘත්තීය සමිති සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් වෛද්‍ය මධුර සෙනවිරත්න වැඩිදුරටත් සඳහන් කළේ, ක්ෂේත්‍රය තුළ මතුවී ඇති ගැටලුකාරී තත්ත්වයන් විසඳීමට රජය නිසි ක්‍රියාමාර්ග නොගැනීම තුළ මෙම විරෝධතා සංවිධානය කර ඇති බවයි.

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

ඉන්දියාවේ පැතිර යමින් ඇති නිපා වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නිපා (Nipah) වෛරසය මූලිකවම සතුන්ගෙන් මිනිසාට බෝවෙන (Zoonotic) බවට සොයාගෙන ඇති අතර මෙය මුල්වරට හඳුනාගෙන ඇත්තේ මැලේසියාවේ ඌරු ගොවිපළවල කටයුතු කල පිරිසක් අතර පැතිර ගිය අවස්ථාවේදී බවයි සඳහන් වන්නේ.

මෙවර මෙම වෛරසය පැතිර යන කේරළය පසුගිය වසර පහ තුළ මෙම වසංගතයට මුහුණ දෙන්නේ හතරවෙනි වතාවට වන අතර ඉන්දියාව සහ බංග්ලාදේශය ආශ්‍රිතව මෙම ආසාදන පැතිරීමේ හේතුව ලෙස සැළකෙන්නේ, ස්වභාවිකවම නිපා (Nipah) වෛරසය දරා සිටීමේ හැකියාව ඇති වවුල් විශේෂයක ආසාදිත සතුන්ගේ මූත්‍රා සහ කෙළ තැවරුණ පළතුරු වර්ග / යුෂ මිනිසුන් විසින් ආහාරයට ගැනීම බවද සඳහන්.

දැනට පවත්නා විද්‍යාත්මක  දත්ත අනුව දැක්වෙන්නේ මෙම රෝගය මිනිසෙකුගෙන් මිනිසෙකුට එතරම් පහසුවෙන් පැතිර නොයන බවයි. රෝගී අයෙකුගේ ශරීර තරල සහ මළ මූත්‍රා මගින් එය බෝවීමට ඉඩ තිබෙන අතර බොහෝවිට එලෙස ආසාදනය වී තිබෙන්නේ රෝගියාට ඉතාම සමීපව කටයුතු කල අය බවයි සඳහන් වන්නේ.

වෛරසය සිරුරට ඇතුලු වී දින 4 – 14 ත් අතර කාලයක දී උණ, හිසරදය, මස් පිඬු වේදනාව, වමනය, උගුරේ වේදනාව වැනි මූලික රෝග ලක්ෂණ ඇතිවන බවත් හඳුනාගත් රෝගීන්ට රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර කිරීම සාමාන්‍ය ක්‍රමවේදය බවත් සඳහන් වනවා.

මිනිසුන් අතර සිදුවන ආසාදන වළක්වා ගැනීමට රෝගීන් සමඟ කටයුතු කිරීමේ දී ආරක්ෂිත ක්‍රමවේද මගින් ඔවුන්ගේ ශරීර තරලවලට නිරාවරණය වීම වළක්වා ගැනෙන අතර මෙය වළක්වන එන්නතක් දැනට භාවිතයේ නොමැති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම අරමුණයි – ජනපති

වත්මන් මෙන්ම අනාගත පරම්පරාවන්ට ද සාමයෙන් හා සංහිදියාවෙන් යුත් සෞභාග්‍යයමත් අනාගතයක් සහතික කරමින්, රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම තම අභිප්‍රාය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මෙම ඉලක්කය කරා ළඟා වීමට, ශ්‍රී ලාංකීය ජනතාවගේ සේම ජාත්‍යන්තර ප්‍රජාවගේ ද විශ්වාසය සහ සහාය තමාට හිමිවනු ඇතැයි  අපේක්ෂා කරන බවයි ඊයේ (21) නිව්යෝර්ක් නුවර එක්සත් ජාතින්ගේ මූලස්ථානයේ දී ආරම්භ කෙරුණු එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අමතා සිය ප්‍රධාන දේශනය සිදු කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

සමුළුව ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (21) ප.ව. 10.00 ට පමණ ආරම්භ වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

කුකුළු මස් මිල රු.100 කින් පහළට

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට කුකුළු මස් මිල රුපියල් 100 කින් පහළ දැමීමට කුකුළු මස් නිෂ්පාදකයින් එකඟතාව පළකර තිබෙනවා.

කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය සහ වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා.

පළාත් පාලන මැතිවරණයට භාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට ඒකමතික එකඟතාවක්

පළාත් පාලන මැතිවරණය සඳහා භාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ඒකමතික එකඟත්වය පළකර තිබෙනවා.

ඒ අනුව අද (21) දින පැවැති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මෙම එකඟතාවයට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් ඒ සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් අපහසුතාවයට පත්වී ඇති බවත් අර්බුදකාරී තත්ත්වයට පිළියමක් ලෙස එසේ භාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ජන්ද තියන නායකයා එළෙව්වට පස්සේ ඡන්ද ගැන කතා කරලා වැඩක් නෑ – ජොන්ස්ටන්

නියමිත වේලාවට මැතිවරණ පැවැත්වූ නායකයා එළවා දැමීමට කටයුතු පිරිසක් කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව ඡන්ද නියමිත වේලාවට පැවැත්වූ නායකයා එළවා දැමූ පසු මැතිවරණ ගැන කතා කිරීමේන් ඵලක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා සංවිධාන කටයුතු සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

සෙනසුරාදා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් සෙනසුරාදා (23) පස්වරු 6.00 සිට පැය 12 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 11, 12, 13, 14, සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

2024 වස​රේ රජයේ සේවකයන්ට වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවන දින‍යන්

2024 වර්ෂයේ වැටුප් අත්තිකාරම්, වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට නියමිත දිනයන් ප්‍රකාශයට පත් කරමින් මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර මෙහෙයුම් අංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව රජයේ නිලධාරීන්ගේ වැටුප් අත්තිකාරම් හා වැටුප් ගෙවන දිනයන්, ත්‍රිවිධ හමුදා සහ ගුරු සේවයේ වැටුප් ගෙවන දිනයන්, විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් ප්‍රකාශයට පත්කර ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ දිනයන් පහතින්.

650c180b970fe

ඉන්දියාව කැනේඩියානු පුරවැසියන්ට වීසා නිකුත්කිරීම අත්හිටුවයි

ඉන්දියාව කැනේඩියානු පුරවැසියන් සඳහා වීසා සේවා නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කැනේඩියානු පුරවැසියෙක් ඝාතනයට ඉන්දියාව සම්බන්ධ බවට කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය මෙයට හේතුව බවයි සඳහන් වන්නේ.

පොහොර මිලදී ගැනීමට රුපියල් මිලියන 12,000 ක් ලබාදීමට තීරණය කෙරේ

මෙවර මහ කන්නයට පොහොර මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 12,000 ක් ගොවි ගිණුම්වලටම බැර කිරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඒ අනුව එම මුදල් හෙක්ටයාර් 01 කට රුපියල් 15,000ක් බැගින් ලබාදීමට නියමිත බවත් එම මුදලින් ගොවින්ගේ අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීමට හැකියාව ඇති බවයි සඳහන් වන්නේ.
ඊයේ (20) දිවයින පුරා සිටින ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල නියෝජනය කරන දිස්ත්‍රික්ක 25ම සභාපතිවරු සමග කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සමඟ පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කර තිබෙනවා.