ඩෙංගු සහ චිකන්ගුන්යා පිළිබඳ​ව අනතුරු ඇඟවීමක්

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන වැඩි වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඩෙංගු සහ චිකන්ගුන්යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බවත් මෙම රෝග ව්‍යාප්ත වීම පාලනයට නිවෙස් අවට පරිසරය පිරිසිදු කරගන්නා ලෙසයි ඔහු අවධාරණය කරන්නේ.

ආසියානු රග්බි ශූරතා​වේ ප්‍රධාන කණ්ඩායම් 4 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වෙයි

2025 ආසියානු රග්බි පිරිමි ශූරතාවලියේදී ආසියාවේ ප්‍රධාන කණ්ඩායම් 4 අතරට ඇතුළත්වීමට ශ්‍රී ලංකාව ඊයේ (19) සමත් වුණා.

2027 රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ මෙන්ම ආසියානු පළමු කාණ්ඩයේ රග්බි තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තීරණාත්මක තරගයක් ඊයේ කොළඹ තුරඟ තරග පිටියේදී ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර පැවැත්වුණා.

මෙම තරගයේ පළමු අර්ධය නිමාවන පත්වන විට ලකුණු 33ට 07ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් වූ අතර අනතුරුව දෙවැනි අර්ධයේදී ද තවත් ලකුණු 26 ක් සිය ලකුණු පුවරුවට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එක් කර ගනිද්දී මැලේසියානු කණ්ඩායමට රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 12 ක් පමණයි.

ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 59 ට 19 ක අති විශිෂ්ට ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව ආසියාවේ සුපිරි කණ්ඩායම හතර තරග වදින පළමු කාණ්ඩයේ රග්බි තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

පාස්කු දිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබෙනවා.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුස ගස තුළ සිය ජීවිතය පූජාකර දින 03කට පසු උත්ථානය ලැබීම පාස්කු මංගල්‍යය ලෙස කිතුණුවන් සමරනවා.

ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් කිතුණුවන් විවිධ වත් පිළිවෙත් අතර ගතකළ දින 40ක චතාරික සමය ද පාස්කු ඉරිදා දිනයෙන් අවසන් වන බවයි සඳහන් වෙන්නේ

පාස්කු ඉරිදා වෙනුවෙන් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගී වූ විශේෂ දේව මෙහෙය ඊයේ රාත්‍රී කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී පැවැත් වුණා.

සිරි දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන් සඳහා තවත් අතිරේක දුම්රිය දෙකක්

සිරි දළදා වන්දනාවට පැමිණෙන ජනතාව ඉහළ යාම හේතුවෙන් තවත් අතිරේක දුම්රිය දෙකක්  ධාවනයේ යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලබන 28 වැනිදා දක්වා මෙම අතිරේක දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා සෑම දිනකම පස්වරු 07.55 ට ‍එක් දුම්රියක් ගමන් ඇරඹීමට නියමිත අතර එම දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයට මධ්‍යම රාත්‍රී 12.00 වනවිට ළඟා වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

එමෙන්ම මහනුවර සිට කොළඹ කොටුව බලා සෑම දිනකම පස්වරු 08.30 ට දුම්රියක් ගමන් ඇරඹීමට නියමිත අතර එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයට මධ්‍යම රාත්‍රී 12.00 වනවිට ළඟාවීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

උපකාරක පන්ති ගුරුවරියක් පොලිස් වාහන සමග ගමන් කිරීමේ වීඩියෝව පිළිබඳව පොලිස් විමර්ශන

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන, උපකාරක පන්ති ගුරුවරියක් පොලිස් යතුරුපැදි සහ පොලිස් මෝටර් රථ සමග ගමන් කිරීමේ වීඩියෝව පිළිබඳව පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසනවා.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා උපකාරක පන්ති පවත්වන ගුරුවරියක් මෙම සිද්ධියට සම්බන්ධ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

මෙම ගුරුවරිය විසින් තමන්ගේ පුද්ගලික ප්‍රතිරූපය ගොඩ නගා ගැනීම සඳහා මෙම පොලිස් සම්පත් භාවිත කර තිබෙන බවට අනාවරණය වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

සිරි දළදා ප්‍රදර්ශනයට එන සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සූදානමින්

සිරි දළදා වන්දනාව වෙනුවෙන් පැමිණෙන සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සූදානමින් සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අංශ පූර්ණ සූදානමින් පසුවන බවත්, දෛනිකව මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් 50කට ආසන්න සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇති බවයි එම සංගමය පවසා සිටින්නේ.

ඒ අනුව, නගරයේ ආහාර පරිහරණ ස්ථාන සියල්ල පරීක්ෂා කිරීම, දන්සැල් හා වීදි ආහාරහල් අධීක්ෂණය, කසළ බැහැර කිරීම, පානීය ජල පහසුකම් සහ සනීපාරක්ෂක කටයුතු යන සියල්ල පිළිබඳව අවධානය යොමු කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනය කර සිටිනවා.

news images

ආසියානු යොවුන් ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 08ක්

ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙයවීමෙන්, සිව් දිනක් පුරා සෞදි අරාබියේදී පැවති ආසියානු යොවුන් ශූරතා අවුරුදු 18න් පහළ මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (18) අවසන් වුණා.

එහිදී ශ්‍රී ලංකාව රන් පදක්කමක්, රිදී පදක්කම් 03ක්, ලෝකඩ පදක්කම් 04ක් සමගින් සමස්ත පදක්කම් 08 ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ 09 වන ස්ථානය ලබා ගැනීමට සමත්වුණා.

මෙහිදී ශ්‍රී ලංකාව දිනාගත් සමස්ත පදක්කම් සංඛ්‍යාව, ආසියානු වයස අවුරුදු 18න් පහළ ශූරතාවලියකදී දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව ද වීම විශේෂත්වයක් වනවා.

රන් පදක්කම් 19ක්, රිදී පදක්කම් 12ක් හා ලෝකඩ පදක්කම්  05ක් දිනූ චීනය පදක්කම් සටහනේ පෙරමුණ හිමි කරගත් අතර, ජපානය රන් පදක්කම්  03ක්, රිදී පදක්කම් 03ක් හා එක් ලෝකඩ පදක්කමක් දිනා එහි දෙවන ස්ථානය හිමි කරගත්තා‍.

රන් පදක්කම් 03ක්, රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම්  02ක් දිනා ගනිමින් සත්කාරක සෞදි අරාබිය මෙහි තෙවන ස්ථානයට පත් වී තිබෙනවා.

news images

නීති විරෝධීව මත්පැන් අළෙවි කළ මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තබයි

අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී, නීති විරෝධීව මත්පැන් අළෙවි කළ, සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.ඒ අනුව, එම මත්පැන් අළෙවිසැල්වලට එරෙහිව උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අප්‍රේල් 03 වැනිදා සිට 17 වැනිදා දක්වා වූ කාලය තුළ සුරාබදු වැරදි සම්බන්ධයෙන් වැටලීම් 1,235 ක් කර ඇති බවද, එම වැටලීම්වලදී පුද්ගලයන් 1,320 ක් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බවද එම දෙපාර්තමේන්තුව පවසා සිටියා.

එහිදී, නීති විරෝධී ලෙස නිෂ්පාදනය කළ ස්ප්‍රීතු සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය කිරීම සහ විකිණීමට සම්බන්ධ වැටලීම් 658 ක් සහ නීතිවිරෝධී මත්පැන් ස්කාගාර පවත්වාගෙන යෑම සම්බන්ධ වැටලීම් 224 ක් සිදු කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ජනපති සිදුකළ ප්‍රකාශයක් ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් විමර්ශනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදුකරන ලද ප්‍රකාශයක් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව රැස්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් පසුගිය දිනක මන්නාරම ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක් වෙමින්, ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන පළාත් පාලන ආයතන වෙත විශේෂයක් සේ සළකා මුදල් වෙන් කිරීමක් සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශය පිළිබඳව තමන්ට පැමිණිලි ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

එම පැමිණිලි විමර්ශනය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව 21 වැනිදා රැස්වීමට නියමිත බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ‍.

මනම්පිටිය දේවස්ථානයට වෙඩි තබා පලාගිය සැකකරු අත්අඩංගුවට

ඊයේ (18) රාත්‍රී මනම්පිටිය ආයුර්වේද පෙදෙසෙහි පිහිටි ‘ජීවමාන ක්‍රිස්තු දේවස්ථානය’ නම් වූ සිද්ධස්ථානයට වෙඩි තබා පලාගිය සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 38ක් වන, මනම්පිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර, ඔහු සමග, වෙඩි තැබීම සඳහා යොදා ගන්නා ලද මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.

අදාළ වෙඩි තැබීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර, දේවස්ථානයේ ජනේලයකට අලාභ හානි සිදුවී තිබෙනවා.

මෙම දේවස්ථානයේ දේවගැතිවරයා සමග තිබූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් වෙඩි තැබීම සිදුකර ඇති බවට අනාවරණය වී ඇති අතර, මනම්පිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.