සිරි දළදා වන්දනාව අද දෙවන දිනයටත් පැවැත්වේ

සිරි දළදා වන්දනාව දෙවන දිනයටත් අද (19) දහවල් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, අද මධ්‍යහ්න 12.00 සිට පස්වරු 5:30 දක්වා දළදා වන්දනාව පැවැත්වීමට නියමිතයි.

දළදා වන්දනාව සඳහා අතිවිශාල සැදැහැවතුන් පිරිසක් තවදුරටත් පෝලිම්වල රැඳී සිටින අතර, ප්‍රවේශ මාර්ග තුනකින් මෙලෙස පෝලිම්වල යොදවා ඇති බවයි දැක්වෙන්නේ.

සිරි දළදා වන්දනාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන්, ඊයේ (18) දහවල් ආරම්භ වූ අතර මෙම දළදා දැක්ම අප්‍රේල් 27 වැනිදා දක්වා, දින 10ක් පුරා පැවැත්වීමට නියමිතව ඇති අතර, අද (19) සිට දිනපතා දහවල් 12.00 සිට පස්වරු 5.00 දක්වා එම අවස්ථාව ලැබෙන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් හේතුවෙන් රථ වාහන තදබදයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට දොඩම්ගොඩ දෙසට ධාවනය වූ පරිප්පු ලොරියක් කිලෝමීටර් 17 කණුව ආසන්නයේදී අනතුරට ලක්ව තිබෙනවා.

ලොරියේ පසුපස රෝදය ගැලවී යෑමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේ හේතුවෙන් මාතර දෙසට ගමන් කරන මංතීරුව අවහිර වී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සිරි දළදා වන්දනාව ජනපති සහභාගිත්වයෙන් ඇරඹෙයි

මෙරට සාමාන්‍ය ජනතාවට අති උතුම් දළදා වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව උදාකර දෙමින් වසර 16 කට පසු පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගිත්වයෙන් අද (18) ආරම්භ වුණා.

එහි සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් දළදා වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය සිදු කිරීම ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර ජනාධිපතිවරයා විසින් දළදා සමිදුන් වැඳ පුදා ගැනීමත් සමඟම සැදැහැවත් ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් “සිරි දළදා වන්දනාව” ආරම්භ කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉල්ලීම මත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මඟපෙන්වීමෙන් සංවිධානය කෙරෙන සිරි දළදා වන්දනාව අද සිට අප්‍රේල් 27 වන දා දක්වා දින 10ක් පුරා පැවැත්වීමට නියමිතයි.

ආරම්භක දිනය වන අද (18) දින දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා දිවයිනේ නන් දෙසින් අතිවිශාල ජනතාවක් දළදා මාළිගාව වෙත පැමිණ සිටි අතර අද දින ප.ව 5.00 දක්වා ජනතාවට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සළසා දී තිබෙන අතර හෙට (19) සිට දිනපතා දහවල් 12.00 සිට ප.ව 5.00 දක්වා එම අවස්ථාව උදාකරදී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

සිරි දළදා වන්දනා​ව සඳහා ආරක්ෂාව සපයන පොලිස් නිලධාරීන්ට විශේෂ දීමනාවක්

“සිරි දළදා වන්දනාව” විශේෂ දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් රාජකාරිවල යෙදී සිටින පොලිස් නිලධාරීන්ට විශේෂ ගමන් වියදම් සහ සංයුක්ත දීමනාවක් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.

අද (18) දිනයේ සිට එළැඹෙන 27 වැනි දින දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පැවැත්වීමට නියමිත විශේෂ දළදා ප්‍රදර්ශනය සඳහා පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මේ සඳහා සහභාගී වන සියලුම පොලිස් නිලධාරීන්ට විශේෂ ගමන් වියදම් හා සංයුක්ත දීමනාවක් ලබා දීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් පොලීසිය වෙත උපදෙස් ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images

සිරි දළදා වන්දනාව සමාරම්භක උළෙලේ ආරාධනා පත්‍රය ලෙස සංසරණය වන්නේ ව්‍යාජ ලියවිල්ලක් – PMD

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ නමින් ව්‍යාජ ලෙස නිර්මාණය කර ඇති මෙම ආරාධනා පත්‍රය රැගෙන “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගි වීම සඳහා මහනුවර ජනාධිපති මන්දිරය වෙත පැමිණෙන ලෙස එහි සඳහන් කර ඇති බවයි සඳහන් වෙන්න‍ේ.

“සිරි දළදා වන්දනාව” වෙනුවෙන් මේ ආකාරයේ කිසිදු විශේෂ ආරාධනා පත්‍රයක් කිසිවෙකුටත් නිකුත් කර නොමැති බවත් මෙම ව්‍යාජ ලියවිල්ල පදනම් කරගනිමින් සිරි දළදා වන්දනාව සඳහා විශේෂ (VIP) පෝලිමක් සකස් කර ඇති බවටත් සමාජ මාධ්‍ය තුළ ව්‍යාජ පුවත් සංසරණය වන අතර ඒවායේද කිසිදු සත්‍යතාවක් නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් වන නිවේදනය පහතින්.

news images

news images

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් පහක් මරුට

ඩෙංගු රෝගය හේතුවෙන් වසරේ මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

එම කාලය තුළ ඩෙංගු රෝගීන් 14,678 දෙනෙකු වාර්තා වී ඇති බවයි එම ඒකකය සඳහන් කළේ.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ, ගම්පහ, කලුතර හා රත්නපුර දිස්ත්‍රික්කවලින් බවද සඳහන්.

මේ අතර, ප්‍රාදේශීය මට්ටමින්, පාසල්වල ඩෙංගු මර්ධන වැඩසටහන් මෙම සති අන්තය තුළ ආරම්භ කරන ලෙස ජාතික ඩෙංගු මර්ධන ඒකකය විසින් දැනුම් දී තිබෙන බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

සිරි දළදා වන්දනාව සමාරම්භක අවස්ථාවට එක් වන රාජ්‍ය තාන්ත්‍රිකයින් දුම්රියෙන් මහනුවරට

වසර 16 කට පසු පැවැත්වෙන ‘සිරි දළදා වන්දනාව’ අද (18) සිට ආරම්භ වන අතර එහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ රටවල් රැසක තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් එක්වීමට නියමිතව තිබෙනවා.

වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, නෙදර්ලන්තය, ඉන්දියාව, මියන්මාරය, පලස්තීනය, ප්‍රංශය, නවසීලන්තය, කියුබාව, ඊජිප්තුව, ජපානය, බ්‍රිතාන්‍යය, තායිලන්තය, කැනඩාව, කොරියාව යන රටවල් නියෝජනය කරමින් එක්වන මෙම කණ්ඩායම අද පෙ.ව 7.00 ට පමණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මහනුවර දක්වා ධාවනය වූ දුම්රියේ විශේෂ නැරඹුම් මැදිරියකින් මහනුවර බලා ගමන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාව නැවත ආර්ථික වශයෙන් නැගී සිටිමින් පවතින බවත්, මෙතෙක් රට වෙළාගෙන තිබු සියලු බාධාවන් ඉවත් වී රට තුළ සහජිවනය ගොඩනැගී ඇති බවටත් වන පණිවිඩය මිත්‍ර රටවල් වෙත ලබාදීම සහ එකී ගමනට එම සියලුදෙනාගේ සහාය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මෙම අවස්ථාව සංවිධානය කර තිබෙනවා.

මෙම කණ්ඩායම සමඟ තවත් රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් එක්විමට නියමිත අතර 44 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම ‘සිරි දළදා වන්දනාව’ සමාරම්භක අවස්ථාවට එක් වීම සඳහා දළදා මාළිගාව වෙත පැමිණීමට නියමිතයි.

news images

news images

news images

news images

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

ඒ අනුව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස මෙය ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

news images

news images

GovPay මගින් දඩ ගෙවීමෙන් තැපැල් දෙපාර්තමේන්තුව කඩා වැටීමක් සිදුවන්නේ නැහැ – තැපැල්පති

රජය විසින් හඳුන්වා දී ඇති GovPay දඩ ගෙවීම් ක්‍රමවේදය හරහා තැපැල් දෙපාර්තමේන්තුව කඩා වැටීමක් සිදු ‍‍නොවන බව තැපැල්පති රුවන් සත්කුමාර පවසනවා.

ඒ අනුව ඒ හරහා තැපැල් දෙපාර්තමේන්තු ආදායමේ යම් කොටසක් පමණක් අහිමිවීම සිදුවන බවයි අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

තැපැල් දෙපාර්තමේන්තුව විසින් එකතු කරන ලද ආදායම් ලබාදෙන්නේ ද රජයටම බවයි තැපැල්පති රුවන් සත්කුමාර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලය තුළ මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීමට විශේෂ වැඩසටහනක්

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලය තුළ මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා කිරීමත්, ව්‍යාප්තවීමත් වැළැක්වීම සඳහා විශේෂ වැඩසටහනක් සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

මේ සඳහා මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්, විශේෂිත සුරාබදු නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් සහ කොළඹ, උතුරු මැද හා වයඹ විශේෂ මෙහෙයුම් ඒකකවල නිලධාරීන් ද යෙදවීමට සැලසුම් කර ඇති බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.එල්. උදය කුමාර පෙරේරා සඳහන් කළේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ හදිසි කෙටි දුරකථන අංකය වන 1913 වෙත සහ 071-4395603 සහ 071-8008029 යන අංක වෙත ද මත්පැන් හා මත්ද්‍රව්‍ය සම්බන්ධ පැමිණිලි ලබා දෙන ලෙසට සුරාබදු දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images