කොළඹ වරායේ බටහිර පර්යන්තයට ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 553 ක්

කොළඹ වරායේ බටහිර පර්යන්තයට ඇමෙරිකාවේ US International Development Finance Corporation හෙවත් DFC ය ඩොලර් මිලියන 553 ක මුදලක් ලබා දීමට එකඟ වී තිබෙනවා.

ඒ අනුව කොළඹ වරායේ ගැඹුරු ජල බහාලුම් පර්යන්තයක් වන බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සහ ඉදිකිරීම සඳහා DFC හි මූල්‍යමය දායකත්වය ලබාදෙන බවයි සඳහන් වන්නේ.

එය පුළුල් ඉන්දු පැසිෆික් කලාපයේ නාවික ධාරිතාව පුළුල් කිරීමට, ශ්‍රී ලාංකිකයින්ට රැකියා උත්පාදනය කිරීමට සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය කිරීමට හේතුවන බවයි X පණිවිඩයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරන්නේ.

654b1e7f07052

තැපැල් සේවකයින් දෙදින වැඩ වර්ජනය ආරම්භ කරයි

තැපැල් දෙපාර්තමේන්තුවේ සම්පත් විකිණීමට එරෙහිව දෙදින සංකේත වැඩ වර්ජනයක් තැපැල් සේවකයන් විසින් ආරම්භ කර තිබෙනවා.

කෙසේ නමුත් වහාම ක්‍රියාත්මක වන පරිදි නොවැම්බර් 8, 9, 10 තෙදින තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒකාබද්ධ තැපැල් පෙරමුණ පෙන්වා දෙන්නේ, නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකිණීමට ගෙන ඇති සැලසුම් ආණ්ඩුව අහෝසි කරගත යුතු බවයි.

බස් රථ අනතුරකින් 13 ක් රෝහලට

මාපලගම සිට කොළඹ බලා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් නාගොඩ ගල්අස්ස ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබෙනවා.

අනතුරෙන් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එකම දිසාවට ධාවනය වූ ත්‍රිරෝද රථයක් එක්වරම දකුණු දෙසට හැරවීමට උත්සාහ දැරීමේ දී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

නොවැම්බර් මුල් දින 5 තුළ සංචාරකයින් 22,202 ක් ලංකාවට

2023 නොවැම්බර් මාසයේ පළමු දින 05 තුළ සංචාරකයින් 22,202 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව මෙම වසරේ මේ දක්වා ගත වූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව  1,147,657 ක් බවයි සඳහන් වන්නේ.

නොවැම්බර් මාසයේ පළමු දින 5 තුළ දී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර මීට අමතරව ඉන්දියාවෙන් 3,866ක් ජර්මනියෙන් 2,011ක් එක්සත් රාජධානියෙන් 1,539 ක් පැමිණ තිබෙනවා.

654b0c8428445

මරදානේ සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්

පවතින අධික වර්ෂාව සමඟ මරදාන දුම්රිය ස්ථානයේ සංඥා දෝෂයක් මතුවීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව වාර්තා වනවා.

මේ අතර පවතින අධික වර්ෂාව සමඟ මරදාන හා බේස්ලයින් පාර අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් අවිස්සාවේල්ල මාර්ගයේ අද ධාවනය වන සියලුම දුම්රියන් ප්‍රමාද විය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

නායයෑමක් නිසා කොළඹ බදුල්ල මාර්ගය අවහිර වෙයි

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේ 179 කිලෝමීටර් කණුව ස්ථානයේ නායයෑමක් සිදුව තිබෙනවා.

ඒ අනුව පොලීසිය සඳහන් කළේ බදුල්ල කොළඹ මාර්ගයේ බෙරගල සහ හල්දුම්මුල්ල අතර මෙලෙස නායගොස් තිබීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බවයි.

මෙම ප්‍රදේශයේදී ඊයේ (06) දිනයේදී නායයෑමක් සිදුව තිබූ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

තැපැල් ගොඩනැඟිල්ල හෝටලයක් නොකරන ලෙස ඉල්ලා සංචාරකයින්ගෙන් විරෝධයක්

ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංචාරක හෝටලයක් බවට පරිවර්තනය කිරීමේ තීරණයට විදේශීය සංචාරකයන් පිරිසක් විරෝධය දක්වා තිබෙනවා.

තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඉදිරියේ විරෝධතා පුවරු ඔසවාගෙන ඔවුන් පවසන්නේ නුවරඑළියේ සංචාරකයන් වෙනුවෙන් ඕනෑ තරම් හෝටල් පහසුකම් පවතින බවයි.

ඓතිහාසික උරුමයක් සහිත ‘රාජකීය තැපැල් ගොඩනැගිලි’ ඇත්තේ එකක් පමණක් බවත්, අනාගතය වෙනුවෙන් මෙම උරුමය ආරක්ෂා කරගත යුතු බවයි එම සංචාරයකයින් පිරිස පෙන්වා දෙන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා නුවරඑළියේ සිදුකළ සංචාරයකදී මෙම තැපැල් කාර්යාල පරිශ්‍රය සුපිරි හෝටලයක් බවට පරිවර්තනය කළයුතු බව අවධාරණය කළ අතර එහිදී නිලධාරීන් සමඟ උණුසුම් තත්ත්වයක්ද ඇති වී තිබුණා.

654a1dbfb4a5b 654a1dbfa1d4d

ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරඟාවලි​ය අහිමිවෙයි

බංග්ලාදේශ කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරගය අහිමිවී තිබෙනවා.

ඔහුගේ වම් අතේ ඇඟිල්ලක ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔහුට මෙලෙස ඉදිරි තරග අහිමිව ඇති බවයි සඳහන් වන්නේ.

අතුරු පාලක කමිටුව ඉවත් නොකළොත් ක්‍රීඩා නීතිය තමා යටතට ගන්නා බව ජනපති පැවසුවා – ක්‍රීඩා ඇමති

තමා විසින් පත් කළ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලය ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා දැනුම්දුන් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

ජනාධිපතිවරයා විසින් තමාව කැඳවා එසේ නොකළහොත් ක්‍රීඩා නීතිය තමා යටතට ගන්නා බවට ප්‍රකාශ කළ බවයි අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව තමන් විසින් පත් කළ කමිටුව ඉවත් නොකරන බවත් ක්‍රීඩා නීතිය නොව තමාව ඉවත් කර තීන්දුවක් ගන්නා ලෙස එහිදී තමන් ජනාධිපතිවරයාට ප්‍රකාශ කළ බව ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළා.

එසේම තහනම් නියෝගය පැනවීමත් සමඟ නැවතත් දූෂකයින් පිරිසක් විසින් අද සිට ක්‍රිකට් ආයතනයේ වැඩ බාරගන්නා බවත් වත්මන් ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් හෙට (08) දිනයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.