වගා හානි වූ ගොවීන්ට රු. 17,000 ක ඩීසල් සහනයක්

පසුගිය යල කන්නයේ දී නියඟය නිසා වගා හානි සිදු වූ අක්කර 65,000 අයත් ගොවීන්ට මාස් කන්නයේ වගා කටයුතු සිදු කිරීමට ලබාදෙන සහනයක් වශයෙන් රුපියල් 17,000ක ඩීසල් නොමිලේ දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පොහොර මිලදී ගැනීමට ලබාදෙන රුපියල් 15,000ක සහන මුදලට හා හෙක්ටෙයාර් එකකට රුපියල් ලක්ෂයක් බැගින් දෙන වන්දි මුදලට අමතරව මෙය ලබාදෙන බවයි සඳහන් වන්නේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් වගා හානි සිදුවූ ගොවින්ට ලබාදිය යුතු සහන පිළිබඳ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ක්‍රීඩා ඇමති පත්ක​ළ ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව තහනම් නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ අතුරු කමිටුව සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ අතුරු කමිටුව සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම දින 14 කට වළක්වාලමින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බවද සඳහන්.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඊයේ (06) දිනයේ අර්ජුන රණතුංගගේ සභාපතීත්වයෙන් යුත් අතුරු කමිටුවක් පත් කිරිමට තීරණය කර තිබුණා.

IPL ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 19 පැවැත්වෙයි

2024 තරඟවාරය සඳහා IPL ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 19 වන දා ඩුබායි හිදී පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව IPL ක්‍රීඩක වෙන්දේසියක් ඉන්දියාවෙන් පිටත දී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය බවයි සඳහන් වන්නේ.

IPL 2024 වෙන්දේසියේදී එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් මිලදී ගැනීමට ඉන්දියන් රුපියල් කෝටි 100 ක් යෙදවිය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ප්‍රබල අකුණු පිළිබඳ​ව අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුරු මැද, වයඹ, ඌව සහ දකුණු පළාත්වලත් මුලතිව් සහ මන්නාරම් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

6548aa286de46

අපි එන්නේ මේ ක්‍රිකට් ටික හදලා බ්‍රෑන්ඩ් එකක් හදන්න – අර්ජුන රණතුංග

ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගැනීමට තමාට ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බව ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති අර්ජුන රණතුංග පවසනවා.

තමාගේ අවධානය යොමුව ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවට බවත් පරිපාලනය පිළිබඳ අනෙක් සාමාජිකයින් විසින් කටයුතු කරනු ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ.

ක්‍රිකට් ක්‍රීඩාවට නව සන්නාමයක් හඳුන්වා දීම තම අභිප්‍රාය වන බවත් රටට ආදරය කරන ක්‍රීඩකයින් පිරිසක් සාදා ගැනීම තම මුලික කටයුත්ත බවද ඔහු සඳහන් කළා.

සුදුස්සාට සුදුසු තැ​න ලබාදුන්නා – ක්‍රීඩා ඇමති

ඉතා ඉක්මනින්ම නැවත වරක් ජයග්‍රහණ ලබාගැනීමට හැකි තත්ත්වයට ක්‍රිකට් ක්‍රීඩාව පත් කළ යුතුව ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

අතුරු කමිටුව පත්කිරීම තුළින් සිදුව ඇති වංචා දුෂණ පිළිබඳව සොයාබැලීම සහ ක්‍රීඩාව ස්ථාවර කර නැවතත් ක්‍රිකට් ජයග්‍රහණ කරා ඉක්මනින් අවතීර්ණ වීම මුලික අරමුණ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

පරිපාලනය, ක්‍රිකට් සංවර්ධනය, නීතිය යන අංශ සඳහා අනු කමිටු පත්කර ඉදිරි කටයුතු සිදු කිරීමට සභාපතිවරයාට උපදෙස් ලබාදුන් බවද අමාත්‍යවරයා සඳහන් කළා.

සුදුසුම පුද්ගලයාව අතුරු කමිටුවේ සභාපති ලෙස පත්කර ඇති බවත්, ඔහුද වැඩ භාර ගැනීමට එකඟතාව පළකර ඇති බවයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 9%ක් දක්වා පහතට – Verite Research

Verite Research සමීක්ෂණ ආයතනය සිදුකරන ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ නවතම වටයේ ප්‍රතිඵල ඔවුන් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2023 ජුනි මාසයේ දී 21% ක්ව තිබූ ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය, 2023 ඔක්තෝබර් මාසයේදී 9%ක් දක්වා පහත වැටී ඇති බවයි අදාළ සමීක්ෂණය මඟින් පෙන්වා දෙන්නේ.

රටේ වැඩකටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන ජුනි මාසයේ දී 12% ක්ව පැවති ජනතා තෘප්තිය ද, ඔක්තෝබර් මාසයේ 6% ක් දක්වා පහත වැටී ඇති බව එයින් පෙන්වා දෙනවා.

ජනතාවට රටේ ආර්ථිකය ගැන පවතින විශ්වාසය ජුනි මාසයේ සෘණ (-) 44 ක්ව පැවති අතර එය ඔක්තෝබර් මාසය වන විට සෘණ (-) 62 දක්වා පහත වැටී ඇති බවයි සමීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

IMF විනාශයට විරුද්ධව සියලු බලවේග එකතු කළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණටයි – වාසුදේව

VAT බද්ද 3% කින් වැඩි කිරීමට හා විදුලි බිල 18% කින් වැඩිකිරීමට මෙරට ජනතාවට මුහුණදීමට සිදු වී ඇති බවත් ඊට හේතුව IMF විනාශය බවත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර පවසනවා.

IMF විනාශයට විරුද්ධව සියලු බලවේග එකතු විය යුතු බවද, ඒ සඳහා සියලු බලවේග එකතු කිරීමේ හැකියාව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට බවද ඔහු පෙන්වා දෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ එය සිදු කළ යුතු බවද, ඒ සඳහා දේශපාලනිකව හා පාර්ලිමේන්තුව තුළින් ක්‍රියාත්මක වීම සඳහා සියලු දෙනාගේ ශක්තිය එකතු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

පොහොර සඳහා ගොවීන්ගේ ගිණුම්වලට මුදල් බැර කිරීම අද

මෙවර මහ කන්නයේ ගොවීන්ට පොහොර මිලදී ගැනීමට අවශ්‍ය මුදල් අද (06) සිට ඔවුන්ගේ ගිණුම් වෙත ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව ඒ සඳහා අවශ්‍ය රුපියල් මිලියන 1000 ක මුදලක් පළමු කොටස ලෙස මුදල් අමාත්‍යංශය විසින් කෘෂිකර්ම අමාත්‍යංශයට ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම ලබාදෙන මුදල් මඟින් පෞද්ගලික අංශයෙන් හෝ රාජ්‍ය අංශයෙන් තමාගේ අභිමතය පරිදි පොහොර මිලදී ගත හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

විහාරමහාදේවි උද්‍යානයේ පරිපාලනය කොළඹ මහ නගර සභාවට

විහාරමහාදේවි උද්‍යානයේ පරිපාලනය කොළඹ මහ නගර සභාවට පවරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් මෙම උපදෙස් ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.