2024 වසරේ පළමු මාස කිහිපය දුෂ්කර විය හැකියි – ජනපති

2024 වසරේ පළමු මාස කිහිපය දුෂ්කර විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මෙම වසරේ දළ දේශීය නිෂ්පාදනය ධන වශයෙන් ගැනීමට හැකි බවත්, 2018 දළ දේශීය නිෂ්පාදනය අමෙරිකානු ඩොලර් බිලියන 94.5 ක් ව පැවති බවත්, 2022 දළ දේශීය නිෂ්පාදනය අමෙරිකානු ඩොලර් බිලියන 77ට අඩුවූ බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

2023 දළ දේශීය නිෂ්පාදනය අමෙරිකානු ඩොලර් බිලියන 85 ක් වන අතර තවමත් 2018 මට්ටමට පැමිණ නොමැති බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

ලබන වසර වසරේදීත් ඒ තත්ත්වයට පැමිණීමට නොහැකි වනු ඇති බවත් 2025 වසරේ සිට එම තත්ත්වයට පැමිණිය හැකි බවත් මෙය ඊට සූදානම්වීමක් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

හාලිඇළ සහ දෙමෝදර අතර පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.

එය කඩිනමින් ඉවත් කිරීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

පාර්ලිමේන්තුවේ ගැටුම ගැන සොයා බැලූ කමිටුවේ වාර්තාව කථානායකවරයාට භාරදෙයි

2023 ඔක්තෝබර් 20 වනදා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ සිදුවූ සිදුවීම පිළිබඳව සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව කථානායකවරයාට භාරදී තිබෙනවා.

ඒ අනුව කථානායකවරයා විසින් පත්කරන ලද පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව කමිටු සභාපති නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (14) කථානායකවරයා වෙත භාරදී ඇති බවයි සඳහන් වන්නේ.

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඩයනා ගමගේ මන්ත්‍රීවරිය, රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් අතර ඇතිවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙම වාර්තාව මඟින් සඳහන් කර තිබෙනවා.

අතුරු කමිටු පත් කිරීම ගැන කැබිනට් තීරණයක් ගත්තේ නැහැ – ක්‍රීඩා ඇමති

ශ්‍රී ලංකා ක්‍රිකට් සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය නිවැරදි නොවන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව ඉදිරි අතුරු කමිටු පත් කිරීම සම්බන්ධයෙන් කිසිදු කැබිනට් නියෝගයක් හෝ සාකච්ඡාවක් නොතිබූ බැවින් ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය නිවැරදි කළ යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මින් ඉදිරියට අතුරු කමිටු පත්කරන්නේ නම් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගත යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය එලෙස නිවේදනය කර තිබුණා.

එසේම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමේ බලය විදේශ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට ලබාදී තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනය පහතින්.

655361fdcfad1

ආර්ථික අර්බුදයට මහින්ද, ගෝඨාභය ස​හ බැසිල් වගකිවයුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

රට තුළ ආර්ථික මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවද  වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කර තිබෙනවා.

හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයින් යන අය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවද අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් තීන්දු කර ඇති බවද සඳහන්

වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කර තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු මෙම තීන්දුව ලබාදී තිබෙනවා.

ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට අදාළ තීරණ ගැනීමේ බලය අලි සබ්රි ප්‍රමුඛ කැබිනට් අනු කමිටුවට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමේ බලය විදේශ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට ලබාදී තිබෙනවා.

ඒ අනුව එසේම මින් ඉදිරියට අතුරු කමිටු පත්කරන්නේ නම් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගත යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මුදල් ඇමතිතුමා ඊයේ අපිව ඩිස්නිලන්තෙ විනෝද චාරිකාවක එක්කගෙන ගියා – එරාන්

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඊයේ දිනයේ සියලුම දෙනා ඩිස්නිලන්තයේ විනෝද චාරිකාවක් රැගෙන ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසනවා.

පොරොන්දු දේශපාලනය රට බංකොළොත් කරන බවට ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශ කළ බවත් රට බංකොළොත් කළ පිරිස ආණ්ඩුවේ තවමත් සිටින බවයි අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ වන විට වේල් තුනක් ආහාරගත් නිවෙස්වල වේල් දෙකක් පමණක් ආහාර ගන්නා බවත් දරිද්‍රතා රේඛාවේ මිලියන 5 ක්ව සිටි පිරිස මේ වන විට මිලියන 7 දක්වා ඉහළ ගොස් ඇති බවද ඔහු පෙන්වා දුන්නා.

ලක්ෂ 6 කට වැඩි පිරිසකගේ මේ වන විට විදුලිය විසන්ධි කිරීමට කටයුතු කර ඇති බවත් මේ හේතුවෙන් දරුවන්ට අධ්‍යාපන කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න වැඩිදුරටත් සඳහන් කළේ.

වෙළඳපොල තුළ සීනි හිඟයක්

වෙළඳපොල තුළ සීනි හිඟයක් හටගෙන ඇති බව වෙළඳුන් පවසනවා.

ඒ අනුව වෙළඳුන් පෙන්වා දෙන්නේ පනවා ඇති පාලන මිලට සීනි අලෙවි කළ නොහැකි බවයි.

ආනයනික සීනි සඳහා 2022 වසරේ සිට පැවති ශත 25 ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 ක් දක්වා ඉහළ දැමීමට පසුගියදා රජය පියවර ගෙන තිබුණා.

ඉන් අනතුරුව රජය ගැසට් නිවේදනයක් මඟින් සුදු සීනි සඳහා රුපියල් 275 ක් සහ දුඹුරු සීනි රුපියල් 330 ක් වන ලෙස උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමටද කටයුතු කර තිබුණා.

අයවැය තුළින් සෞඛ්‍ය පද්ධතියේ ඇති ගැටලුවලට අවශ්‍ය විසඳුම් ලැබිලා නැහැ – GMOA

2024 අයවැය තුළින් සෞඛ්‍ය පද්ධතියේ ඇති ගැටලුවලට අවශ්‍ය විසඳුමක් ප්‍රකාශයට පත්වී නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය ඉටු කරන ලෙසත්, වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටි බවයි අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ.

එම ගැටලු සඳහා අවශ්‍ය විසඳුමක් 2024 අයවැය තුළින් ප්‍රකාශයට පත්වී ඇති ආකාරයක් දක්නට නොලැබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

2024 අයවැය තුළ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය කරුණු නැහැ – මහාචාර්ය වසන්ත අතුකෝරල

2024 අයවැය තුළ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය කරුණු අන්තර්ගත නොවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා.

ඒ අනුව ආර්ථික ස්ථායිකරණය සඳහා අවශ්‍ය වැඩපිළිවෙල නිසිලෙස දක්නට නොලැබෙන බවත් ආර්ථික වර්ධනය හා සංවර්ධනය සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක්ද ඒ තුළ යෝජනා වී නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සමස්තයක් ලෙස 2024 අයවැය රට සුබවාදී තත්ත්වයට ගෙනයාමට අපොහොසත් වනු ඇති බවට පෙන්නුම් කරන බවයි මහාචාර්ය වසන්ත අතුකෝරල වැඩිදුරටත් සඳහන් කළේ.