අයවැය පරාජය කරන්න බලාපොරොත්තුවක් නෑ – මහින්ද

2024 අයවැය පරාජය කිරීමට හේතුවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

සියලු දෙනා එකට සිටිනා විට, අඩුපාඩුකම් පැවතියද එකට යන ගමනක් ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඒ අනුව අයවැය පරාජයට පත්කිරීමට තම පක්ෂයේ කිසිවෙකු බලාපොරොත්තු නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

රුපියල් මිලියන 60 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

කැනඩාවේ සිට මෙරටට ආනයනය කළ බහාලුමක තිබී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මස 25 වනදා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද මෙම බහාලුම පිළිබඳ ඇති වූ සැකය මත රේගුවේ ආදායම් අධීක්ෂණ බලකාය විසින් එය සිය භාරයට ගෙන තිබූ බවයි සඳහන් වන්නේ.

පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය සමග සිදු කළ පරීක්ෂාවේදී එහි තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6 ක් සොයාගෙන තිබූ අතර එම තොගයේ වටිනාකම රුපියල් මිලියන 60 ක් පමණ වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහි නඩුව සඳුදා කැඳවීමට නියෝග

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ගොනුකළ පෙත්සම සලකා බැලීම සඳහා යලිත් නව විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.

ඒ අනුව අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී. එන් සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමට නියම කරන බව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ලබන සඳුදා තෙක් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ක්‍රීඩා අමාත්‍යවරයා ලබා දුන් ප්‍රතිඥාවට අනුව එම අතුරු කමිටුවේ කටයුතු වළක්වමින් පනවා තිබූ වාරණ නියෝගය දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය තීන්දු කර ඇති බවයි සඳහන් වන්නේ.

පෙත්සම සලකා බැලීම ලබන සඳුදා (20) තෙක් කල් තැබීමට නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

සියලු දෙනාටම පුළුවන් දැන් ආර්ථිකය විනාශ කරපු අයගෙන් වන්දි ඉල්ලන්න – විපක්ෂ නායක

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම් කළ කණ්ඩායමට, දැන් සමස්ත සමාජයටම ආර්ථිකය විනාශ කිරීම වෙනුවෙන් වගකියන්නට සිදු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එබැවින් රටේ සියලු පුරවැසියන්ට දැන් එම කණ්ඩායමෙන් වන්දි ඉල්ලීමේ හැකියාව පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ.

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් රටේ ආර්ථිකය අර්බුදයට වගකිව යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව ගැන අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

පාරිභෝගික අධිකාරිය සිදුකළ වැටලීම්වලින් කෝටි 22 ක දඩ මුදලක් අය කර ගනියි

මේ වසරේ ගත වූ කාලය තුළ දිවයින පුරා සිදු කළ වැටලීම්වලින් රුපියල් කෝටි 22ක මුදලක් දඩ ලෙස අය කරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඒ අනුව භාණ්ඩ වැඩි මිලට අලෙවි කිරීම, තොග සැඟවීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් එම දඩ මුදල් අය කරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.

පසුගිය ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ මෙම වැටලීම් සිදු කර ඇති අතර එම කාලය තුළ දිවයින පුරා වැටලීම් 22,000ක් පමණ සිදු කර ඇති අතර, ඉන් 19,000කට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුවියක් මරුට

වැල්ලම්පිටිය, වේරගොඩ ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් තුවාල ලැබු සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූ තවත් සිසුන් 5 ක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඩෙංගු මර්දන රාජකාරීවලින් ඉවත් වෙයි

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (15) සිට ඩෙංගු මර්දන රාජකාරි වලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන දීමනා වැඩි නොකිරීම ඇතුළු වෘත්තිය ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා ඔවුන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඒ පිළිබඳව සහ ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් මඟින් දැනුම්දී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

කෝප් කමිටු සභාපතිවරයා ක්‍රිකට් ආයතන නිලධාරීන්ට පිළිතුරු නොදෙන ලෙස ඉඟි කරලා – විපක්ෂ නායක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (14) පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී කමිටු සභාපතිවරයාගේ ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනාවරණයක් සිදුකළා.

ඊයේ (14) පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් ප්‍රශ්න විමසන විටදී කමිටු සභාපතිවරයා විවිධ නිලධාරීන්ට පිළිතුරු නොදෙන ලෙස ඉඟි කරන ආකාරයෙන් හැසිරී ඇති බවයි ඔහු පවසා සිටියේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කතානායකවරයාගෙන් ඉල්ලීමක් සිදුකළා.

සීනි තොග සඟවා ඇති ස්ථාන සොයා මෙහෙයුම්

නීති විරෝධි ලෙස සඟවා තබා ගෙන ඇති සීනි තොග සිය භාරයට ගෙන පාලන මිල යටතේ ජනතාවට බෙදා හැරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු අධිකාරීය පවසනවා.

පාරිභෝගික පනත යටතේ ඒ සඳහා ප්‍රතිපාදන පවතින බවයි එම අධිකාරිය සඳහන් කළේ.

ඒ අනුව සීනි තොග සඟවා ඇති ස්ථාන හඳුනා ගැනීමට දීප ව්‍යාප්තව මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඡන්දයට මුදල් වෙන් නොකිරීම ගැන මුදල් ලේකම්ට එරෙහිව ගොනුකළ පෙත්සම් 2 ක් නිෂ්ප්‍රභ කෙරේ

2023 වසරේ විසර්ජන පනත තුළින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වමින් නිකුත් කරනු ලැබූ අතුරු නියෝගය අනුව කටයුතු කිරීම පැහැර හැරීම මඟින්  මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ගොනුකළ පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ ජාතික ජන බලවේගයේ විජිත හේරත් යන මන්ත්‍රීවරු විසින් මෙම පෙත්සම් ගොනුකර තිබුණා.

පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිව ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය 2023 වසර සඳහා වන විසර්ජන පනත තුළින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වමින් ඉකුත් මාර්තු මස 03 වන දා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කළ බවයි ඔවුන් සිය පෙන්වා දී තිබුණේ.

එම අතුරු නියෝගයට අවනතව කටයුතු කිරීම මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් හිතාමතාම පැහැර හැර තිබෙන බවත් ඒ මඟින් ඔහු අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව චෝදනා කරමින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.