ජනවාරි මාසයේදී නැවත අස්වැසුමට අයදුම් කරන්න පුළුවන් – රංජිත් සියඹලාපිටිය

එළඹෙන ජනවාරි මාසයේදී අස්වැසුම සඳහා නැවත අයදුම් කිරීමට අවස්ථාව ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මෙම වැඩපිළිවෙළ වඩාත් පුළුල් හා නිවැරදිව කිරීමේ අරමුණින් මෙම අවස්ථාව ලබා දෙන බවත්, එමගින් වඩාත් වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව සැලසෙන බවත් අමාත්‍යවරයා පවසා සිටියා.
මෙම වැඩසටහනේ පසුගිය වර තිබුනු අඩුපාඩු හඳුනාගෙන මෙවර වඩාත් නිවැරදිව වැඩසටහන ඉදිරියට ගෙන යා හැකි බවද, අයවැයෙන් ඒ සඳහා රුපියල් බිලියන 205 ක් වෙන්කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

රජයේ ඉඩම් දෙන බව පවසා වංචා කළ පුද්ගලයන් පස්දෙනෙක් අත්අඩංගුවට

රජයේ ඉඩම් ලබා දෙන බව පවසා කුරුණෑගල, රිදීගම සහ දොඩම්ගස්ලන්ද ප්‍රදේශවල ජනතාව රවටමින් වංචනිකව මුදල් ලබා ගැනීමේ නිරතව සිටි පුද්ගලයින් කණ්ඩායමක් ඊයේ (22) සැකපිට අත්අඩංගුවට ගත් බව රිදීගම පොලීසිය පවසනවා.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යනුවෙන් සඳහන් ස්ටිකර් හා නාම පුවරුද ප්‍රදර්ශනය කර තිබුණු වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී, ප්‍රදේශවාසීන් පිරිසකට සැක සිතී ප්‍රශ්න කිරීමේදී මෙම වංචනික ක්‍රියාව පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවී තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පස්දෙනා මාතලේ සහ කුරුණෑගල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එයින් එක් පුද්ගලයෙකු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ කාර්යාලයක සේවය කරන රජයේ නිලධාරියෙකු බවට හඳුනාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

රිදීගම පොලිස් ස්ථානය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

උත්සව සමයේදී හිඟයකින් තොරව ඛනිජ තෙල් බෙදාහැරීමට සියලුම පිරවුම්හල් එකඟතාවයකට

උත්සව සමයේදී කිසිදු හිඟයකින් තොරව ඛනිජ තෙල් බෙදාහැරීම සඳහා සියලුම පිරවුම්හල් එකඟතාවයකට පැමිණි බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සමලේකම් කපිල නාඔටුන්න පවසනවා.

පිරවුම්හල් වලින් මාසික පරිහරණ ගාස්තුවක් අයකිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගෙන තිබූ තීරණය අධිකරණයෙන් ලබා ගත් වාරණ නියෝගයක් මත නතර කර ගැනීමට පියවර ගත් බවත්, ඒ අනුව මෙම එකඟතාවට පැමිණි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් සේවක වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමයේ සභාපති ජගත් ගුරුසිංහ පවසනවා.
දින 9 ක් පුරා පැවති මෙම වැඩ වර්ජනය අධ්‍යක්ෂ මණ්ඩලය සමග සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව අවසන් කළ බවයි ඔහු සඳහන් කරන්නේ.
ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට හා වත්මන් පරිපාලනයට එරෙහිව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබුණා.

ලබන වසරේ මැතිවරණවලට සමගි ජන බලවේගයෙන් පොදු සන්ධානයක්

ලබන වසරේ පවත්වනු ලබන ඕනෑම මැතිවරණයකට මුහුණදීම සඳහා පොදු සන්ධානයක් ගොඩනැගීමේ බලය පක්ෂ නායකවරයා වෙත ලබා දීමට සමගි ජන බලවේගය ඊයේ (22) තීරණය කළා.

ඊයේ රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසන්නේ.

ඉදිරි වර්ෂයේදී ජනතාවගේ ගැටළු විසඳීම සඳහා වැඩපිළිවෙළ රැසක්  සංවිධානය කර ඇති බවද ඔහු පවසනවා.

එසේම ජී.එල්. පීරිස් වෙත අගමැති ධුරය ලබා දීම සම්බන්ධයෙන් මේ වන තෙක් සාකච්ඡා කර හෝ එකඟතාවකට හෝ පැමිණ නොමැති බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළා.

මාතර බන්ධනාගාරයේ පැතිරෙන උණ රෝගී තත්ත්වය පාලනයට පියවර

මාතර බන්ධනාගාරයේ පැතිරෙන උණ රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව බන්ධනාගාර කටයුතු සීමා කිරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක, ගාමිණී බී.දිසානායක පවසනවා.

උණ රෝගි තත්ත්වයක් හේතුවෙන් මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මාතර බන්ධනාගාරයේ රැඳවියෙක් ඊයේ (22) මියගොස් තිබෙනවා.

එසේම මේ හේතුවෙන් මාතර බන්ධනාගාරයේ නේවාසිකයන් 08 දෙනෙකු රෝහල්ගත කර තිබෙන බවද සඳහන්.

මේ තත්ත්වය හේතුවෙන් මාතර බන්ධනාගාරයට ගෙන එනු ලබන නවක රැඳවියන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝග මත තීරණය කර තිබෙනවා.

රැඳවියන් හා අමුත්තන් මුණගැසීමේ කටයුතු ද සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව සිදුකිරීමට කටයුතු යොදා තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

උත්සව සමයේ විදුලිය විසන්ධි නොකරන්නැයි ඇමතිගෙන් ලංවිමට උපදෙස්

එළැඹෙන සති අන්තයේ  විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙසද, හදිසි නොවන නඩත්තු කටයුතු සඳහා ද විදුලි විසන්ධි කිරීමෙන් වළකින ලෙසටද ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදුන් බව කංචන විජේසේකර අමාත්‍යවරයා පවසනවා.

නිරන්තරයෙන් විදුලිය විසන්ධි කරන බවට ජනතාවගෙන් ලැබෙන පැමිණිලි පිළිබඳව අවධානය යොමු කරමින්, නඩත්තු කටයුතු සඳහා විදුලි විසන්ධි කිරීම පිළිබඳ ජාත්‍යන්තර මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කරනවා.

එමෙන්ම අනවශ්‍ය ලෙස සති අන්තයේ සිදුකරන නඩත්තු කටයුතු හේතුවෙන් අතිකාල දීමනා සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

යුක්ති මෙහෙයුමට සමගාමීව සංවිධානාත්මක අපරාධ සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් තවත් දේපල රැසක් 2023.12.22 වන අද දින නීති විරෝධි වත්කම් හෝ දේපල විමර්ශන කොට්ඨාසයේ නිළධාරීන් විසින් දේපල තහනමට ගෙන ඇත.

යුක්ති මෙහෙයුමට සමගාමීව සංවිධානාත්මක අපරාධ සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් තවත් දේපල රැසක් 2023.12.22 වන අද දින නීති විරෝධි වත්කම් හෝ දේපල විමර්ශන කොට්ඨාසයේ නිළධාරීන් විසින් දේපල තහනමට ගෙන ඇත.

විදේශගතව සිට ඉතා ක්ෂුක්ෂම ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර එම ජාවාරමෙන් උපයාගන්නා ගන්නා ලද මුදල් භාවිතා කර මෙම වාහන සහ දේපල මිලදී ගෙන ඇති බවට විමර්ශන නිළධාරීන් වෙත අනාවරණය වීමෙන් පසුව මෙම දේපල තහනමට ගැනීම සිදු කර ඇත.

තහනමට ගත් වාහන සහ දේපල පහත පරිදි වේ.
අඩි 45 ක බහුදින යාත්‍රා 01 ක්
KDH වෑන් රථ 01 ක්
TOYOTA CHR වර්ගයේ ජීප් රථ 01 ක්
WAGON R වර්ගයේ කාර් රථ 01 ක්
හික්කඩුව ලිපිනයේ තට්ටු 03 කින් සමන්විත ගොඩනැගිල්ල
හික්කඩුව මහමෝදර පාලම අසල මහල් 04 කින් යුත් Villa 01 ක්
හික්කඩුව මහමෝදර පාලම අසල මහල් 03 කින් යුත් Villa 01 ක්
රත්‍රං පවුම් 30 ක්

ඉහත පරිදි තහනමට ගත් වාහන සහ දේපල වල මුළු වෙළදපල වටිනාකම ලක්ෂ 1340 කට ආසන්න බවට අනාවරණය වී ඇත.

WhatsApp Image 2023-12-22 at 21.52.06 (2) WhatsApp Image 2023-12-22 at 21.52.06 (1) WhatsApp Image 2023-12-22 at 21.52.06 WhatsApp Image 2023-12-22 at 21.52.05 WhatsApp Image 2023-12-22 at 21.52.04 (5) WhatsApp Image 2023-12-22 at 21.52.04 (4) WhatsApp Image 2023-12-22 at 21.52.04 (3) WhatsApp Image 2023-12-22 at 21.52.04 (2) WhatsApp Image 2023-12-22 at 21.52.04 (1) WhatsApp Image 2023-12-22 at 21.52.04 WhatsApp Image 2023-12-22 at 21.52.03

පිටකොටුවේ කල් ඉකුත් වූ කිරිපිටි අලෙවිකළ තොග වෙළඳසැලක් වටලයි

පිටකොටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කල් ඉකුත් වූ කිරිපිටි තොග බෙදාහරින ස්ථානයක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් හා විශේෂ විමර්ශන ඒකකය අද (22) කටයුතු කළා.

පිටකොටුව ප්‍රදේශයේ තොග අලෙවිසැල් විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමේදී මෙම ස්ථානය හමුවූ අතර, එහිදී අලෙවි කිරීමට සුදානම් කර තිබූ කල් ඉකුත් වූ කිරිපිටි කිලෝග්‍රෑම් 825 ක තොගයක් සොයාගත් බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ.

අයිස්ක්‍රීම් සහ රසකැවිලි වෙළෙඳුන් හට මෙම කල් ඉකුත් වූ කිරිපිටි විකුණා ඇති බව එහිදී අනාවරණය වී තිබෙනවා.

මෙම තොග වෙලෙඳසැල් හිමිකරුට එරෙහිව නඩු පැවරීමට නියමිත අතර මේ පිළිබඳව වැඩිදුර විමර්ශන තවදුරටත් සිදුකරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ධනුෂ්ක ගුණතිලකගේ දේශීය තරග තහනම ඉවත් කෙරේ

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට නැවත දේශීය තරග ක්‍රීඩා කිරීම සඳහා ඔහුගේ ක්‍රීඩා සමාජය වන SSC ක්‍රීඩා සමාජය විසින් අවසර ලබාදී තිබෙනවා.

විනය කමිටුව මගින් සිදු කළ පරීක්ෂණයකින් පසු ඔහුගේ තහනම ඉවත් කිරීමට තීරණය කළ බව ධනුෂ්ක නියෝජනය කරන සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) ක්‍රිකට් කමිටු සභාපති සමන්ත දොඩන්වෙල පැවසුවා.

ඒ අනුව මේ වනවිට ආරම්භ වී ඇති අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියට ඔහු හෙට (23) සිට එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.