සුසල් ද සිල්වාගෙන් ශ්‍රී ලංකාවට චෙස් රන් පදක්කමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ආසියානු යොවුන් චෙස් ශූරතාවලියේ වයස අවුරුදු 18 න් පහළ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුසල් ද සිල්වා සමත් වුනා.

සුසල් කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් වන අතර මෙම වසරේ ජාතික විවෘත චෙස් ශූරතාවලියද ජයගැනීමට ඔහු සමත් වුනා.

මෙර​ට යෝජිත න්‍යෂ්ඨික විදුලි බලාගාරය මෙගාවොට් 110 ක කුඩා බලාගාරයක් – රුසියානු තානාපති

රුසියානු ව්‍යාපෘතියක් ලෙස මෙරට ඉදිකිරීමට යෝජිත න්‍යෂ්ඨික විදුලි බලාගාරය කොටස් දෙකකින් යුත් මෙගාවොට් 110 ක කුඩා පරිමානයේ න්‍යෂ්ඨික විදුලි බලාගාරයක් බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් පවසනවා.

රුසියානු තානාපති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියා.

ශ්‍රී ලංකාවට විකල්ප විදුලි බලශක්ති ප්‍රභවයන් අවශ්‍ය බව ඔහුගේ මතය බවත්, නමුත් එය තීරණය කිරීමේ අයිතිය ඇත්තේ ශ්‍රී ලංකා රජයට බවත් තානාපතිවරයා වැඩිදුරටත් පවසා සිටිනවා.

ජෙරම්ට එරෙහිව නීතිපතිගේ විරෝධතාව අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

දේවගැති ජෙරම් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ඔහු විසින් ගොනු කෙරුණු පෙත්සමක් නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා මතු කළ මූලික විරෝධතා අභියාචනාධිකරණය අද (22) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව අදාළ පෙත්සමට එරෙහිව ඉදිරිපත් කෙරුණු මූලික විරෝධතා දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

ආගම්වලට අපහාසාත්මක වන ප්‍රකාශයක් සිදුකළේ යැයි සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ දේවගැති ජෙරම් ප්‍රනාන්දු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

දැනට පැතිරෙන ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය JN.1 නව කොරෝනා උප ප්‍රභේදය විය හැකියි – මහාචාර්ය චන්දිම ජීවන්දර

කොවිඩ් ඔමික්‍රෝන් ප්‍ර‍භේදයේ උප ප්‍රභේදයක් වන JN.1 නව කොරෝනා වෛරස් ප්‍රභේදය දැනටමත් මෙරට තුළ පැතිරමින් ඇති බවට සැක පහළ කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

නමුත් ලංකාව තුල කොවිඩ් පරීක්ෂණ සිදුකිරීම ඉතාමත් අවම මට්ටමක පැවතීම හේතුවෙන් මේ මොහොතේ JN.1 හි ව්‍යාප්තිය පිළිබඳව තත්ත්වය සම්බන්ධයෙන් විද්‍යාත්මකව ප්‍රකාශ කළ නොහැකි බවයි සිය නිල එක්ස් (X) ගිණුමට සටහනක් එක් කරමින් ඔහු පවසා සිටින්නේ.

දැනටමත් ශ්‍රී ලංකාව තුල ILI ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩි වීමක් නිරීක්ෂණය වන අතර එය JN.1 ‍වීමේ හැකියාවක් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් තවමත් බලාත්මක බවත්, කෙසේ වුවත් දුර්වල ප්‍රතිශක්තියක් සහිත අයට බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබාගැනීමට අවශ්‍ය විය හැකි බවත්, සමස්තයක් ලෙස අවදානම් තත්ත්වයේ පසුවන අයට මුඛ ආවරණ පැළඳීම ආරම්භ කිරීමට සුදුසු බවත් මහාචාර්යවරයා සඳහන් කර සිටිනවා.

JN.1 හි රෝග ලක්ෂණ වන්නේ උණ, කැස්ස, සුවඳ නැතිවීම සහ රසය නැතිවීම, දිගටම පවතින අධික උණ, හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, ආහාර ගැනීමට නොහැකි වීම සහ වමනය යෑමේ ප්‍රවණතාවය ආදිය ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

පසුගිය පැය 24 තුළ සැකකරුවන් 1,865ක් අත්අඩංගුවට

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ පසුගිය පැය 24 තුළ සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 1,865ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව එම සැකකරුවන් අතරින් 145 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කළේ.

එසේම, සැකකරුවන් 40 දෙනෙකු සම්බන්ධයෙන් නීතිවිරෝධි වත්කම් විමර්ශන ආරම්භ කරනු ලබන අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 134 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.

මෙම මෙහෙයුමේදී හෙරොයින් මත්ද්‍රව්‍ය 613g ක්, අයිස් මත්ද්‍රව්‍ය 746g ක්, ගංජා මත්ද්‍රව්‍ය 16kg 500g ක්, ගංජා පැළ 272,041ක්, මත්පෙති 3,142 ක් හා තවත් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවයි සඳහන් වන්නේ.

දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 787 ක ණය ආධාර

2023 දෙසැම්බර් මාසයේදී, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහ ලෝක බැංකුවේ ප්‍රතිපාදන ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 337 ක් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් විවිධ වැඩසටහන් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200 ක් හා ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250 ක් ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

එක්සත් ජනපද ඩොලර් මිලියන 787 ක් වන මෙම මුදල් ප්‍රමාණය මගින් අයවැය ශක්තිමත් කිරීම සහ රටේ බාහිර සංචිත වැඩි දියුණු කිරීම අරමුණු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අස්වැසුම දෙසැම්බර් වාරිකය බැංකුවලට

අස්වැසුම ප්‍රතිලාභී පවුල් සඳහා දෙසැම්බර් මාසයේ වාරිකය ගෙවීම සඳහා රුපියල් මිලියන 8,700ක් බැංකු වෙත ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

පසුගිය ජුලි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා කාලය තුළ එම ප්‍රතිලාභී පවුල් වෙත ගෙවා ඇති මුළු මුදල රුපියල් මිලියන 51,967 ක් බවයි සඳහන් වන්නේ.

අන්ත දිළිඳු පවුල් 303,199 ක්, දිළිඳු පවුල් 606,496 ක්, අවදානමට ලක් වු පවුල් 290,624 ක් හා සංක්‍රාන්තික පවුල් 209,745 ක් සඳහා අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම මේ වනවිට සිදු වනවා.

ශ්‍රී ලාංකිකයෙක් ලෝ ප්‍රකට Emmy සම්මානයක් දිනාගනී

ලෝක රූපවාහිනී ක්ෂේත්‍රයේ දැවැන්තම සම්මාන උළෙලක් ලෙස සැලකෙන, එක්සත් ජනපදයේ එමී සම්මාන උලෙළේ දී (Emmy Awards) සම්මානයක් දිනා ගැනීමට ශ්‍රී ලාංකිකයෙකු වන ජේසන් රාජසිංහ සමත්වී තිබෙනවා.

ඩිස්කවර් මීඩියා වර්ක්ස් සමාගම වෙනුවෙන් ඔහු නිර්මාණය කරන Uniquely Wisconsin නමැති වැඩසටහන් මාලාවේ “Farm to table pizzas: The little red barn” නමැති කතාංගය වෙනුවෙන් ඔහු මෙම සම්මානය දිනාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ජේසන් රාජසිංහ එම කතාංගය වෙනුවෙන් සම්මාන දිනා ගත්තේ, ඇමෙරිකාවේ පැවති 2023 චිකාගෝ මිඩ්වෙස්ට් එමී සම්මාන උලෙළේ දී වන අතර Outstanding Achievement for Lifestyle අංශයෙන් ඔහුට මෙම සම්මානය හිමි වුණා.

පාසැල් තෙවන වාරයේ පළමු අදියර හෙට අවසන්

2023 වසරේ රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ පළමු අදියර හෙට (22) දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2024 පෙබරවාරි මස 1 වන දින ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මාස 05 ක් යනතුරු ඉන්දියාවෙන් ලොකු ළූණු නෑ – රොයිටර්ස්

ඉන්දියාව විසින් පනවා ඇති ලොකු ළූනු අපනයන තහනම තවත් මාස 05 ක් පමණ වන තුරු ඉවත් නොකරනු ඇති බව රොයිටර්ස් පුවත් සේවය ඊයේ (20) වාර්තා කළා.

2024 මැයි මාසයේ පැවැත්වෙන මහ මැතිවරණය වන තෙක් ඉන්දියාවේ දේශීය ළූනු මිල පහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා මෝදි රජය කටයුතු කිරීම මෙයට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.

ළූණු අපනයනයෙන් ඉන්දියාව ඉවත්වීමත් සමග චීනය, ඉරානය පාකිස්තානය සහ තුර්කිය වැනි රටවල්ද ඔවුන්ගේ ළූනු මිල ගණන් ඉහළ නැංවීම නිසා ළූණු ආනයනයට පවතින විකල්ප ද ඉතා සීමිත බව රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරනවා.