NMRA සඳහා නව ප්‍රධාන විධායක නිලධාරීවරයෙක් පත් කෙරේ

ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස විශේෂඥ වෛද්‍ය සවීන් සේමගේ පත්කර තිබෙනවා.

ඔහු මීට පෙරද 2021 වසරේ නොවැම්බර් මාසයේ සිට 2022 වසරේ මැයි මාසය දක්වා එම තනතුරේ කටයුතු කර තිබුණා.

කෙසේවෙතත් යළිත් වරක් ඔහු ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ විසින් පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

වසරේ පළමු සතිය තුළ ඩෙංගු රෝගීන් 2316 ක් වාර්තා වෙයි

වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව මේ වසරේ පළමු සතිය තුළ ඩෙංගු රෝගීන් 2316 දෙනෙකු වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ.

වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ, යාපනය දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 473 ක් වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 427 ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.

පසුගිය ඉරිදා සිට ආරම්භ කරන ලද විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන තුළින් පරිශ්‍ර 6865 ක් පරීක්ෂා කර ඉන් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන 462 ක් සොයා ගෙන තිබෙනවා.

මම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙනවා – චමින්ද විජේසිරි

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා.

ඒ අනුව අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරියට භාරදුන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

TIN අංකය ලබා ගැනීමේ පහසුකම් පුළුල් කිරීමට රජයේ අවධානය

ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ අවුරුදු 18ට වැඩි සියලු දෙනාට ම TIN අංකයක් ලබා දීමට අදාළ කටයුතු වහාම සරල කොට පුළුල් කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යලවල ඊට අදාළ පහසුම් සැලසිය යුතු බවත් ඒ සඳහා වෙනම කවුන්ටරයක් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙසත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත උපදෙස් ලබා දුන් බවයි සඳහන් වන්නේ.

ඊට අමතරව රජයේ බැංකු, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැනි ස්ථානවල ද ඊට අදාළ කවුන්ටර් විවෘත කිරීමට අදාළ කටයුතු සොයා බැලිය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

TIN ලබාදීම කාර්යක්ෂම කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තු, රාජ්‍ය පරිපාලන සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

විශ්ව බුද්ධා ඇප මත මුදාහැරීමට නියෝග

බුදු දහමට අපහාස කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්නපුරයේ “විශ්ව බුද්ධා” නැමති චීවරධාරියා ඇපමත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඒ අනුව සැකකාර “විශ්ව බුද්ධා” චීවරධාරියා රුපියල් ලක්‍ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත මාර්තු මස 27 වනදා කැඳවන ලෙස නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

බුදු දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් පසුගියදා ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

වාහන ආනයනයට යළි අවසර ලබාදීම ගැන මෙතෙක් තීරණයක් ගෙන නැහැ – රංජිත් සියඹලාපිටිය

වාහන ආනයනය සඳහා යළි අවසර ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව රටේ ඇති විදෙස් සංචිත ප්‍රමාණය සැලකිල්ලට ගෙන වාහන ආනයනය සම්බන්ධයෙන් කරුණු සෙවීම සඳහා අධ්‍යනයක් සිදු කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

එම වාර්තාව පදනම් කර ගනිමින් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.

VAT බද්දට විරෝධය දක්වා සජබ මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තු පැමිණෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (09) පාර්ලිමේන්තු රැස්වීම සඳහා කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ අනුව වැට් බද්ද වැඩි කිරීම සහ ජීවන වියදමට එරෙහිව විරෝධය දක්වා මෙලෙස පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

659ce88f310e7 659ce88f51551

අටමස්ථානය නැරඹීමේ ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ දැමීම නිසා විදෙස් සංචාරකයින් අපහසුතාවට පත්වෙලා – සංචාරක මාර්ගෝපදේශකයින්

අටමස්ථානය නැරඹීම සඳහා විදෙස් සංචාරකයින්ට නිකුත් කරන ඩොලර් 25 ක ප්‍රවේශපත්‍රයේ ගාස්තුව රුපියල්වලින් ගෙවීමේදී ඉහළ දමා ඇති බව විදෙස් සංචාරකයින් හා උතුරුමැද පළාත් සංචාරක මාර්ගෝපදේශ සංගමයේ සභාපති ලලිත් ප්‍රියන්ත පවසනවා.

ඒ අනුව එම මුදල ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් 8,075 ක් වන අතර ඇතැම් විදෙස් සංචාරකයින් ඩොලර්වලින් ගෙවීම් සිදුකළද බොහෝ සංචාරකයින් රුපියල්වලින් ගෙවීම් සිදුකරන අතර එහිදී ප්‍රවේශපත්‍රයක් සඳහා 9,600 ක් අය කරන බවයි සංචාරක මාර්ගෝපදේශකයින් සඳහන් කරන්නේ.

එහිදී අය යන්නේ ටිකට් පතේ සඳහන් ඩොලර් 25 ට වඩා වැඩි මුදලක් වන අතර එහිදී ටිකට් නිකුත් කරන්නන් සඳහන් කරන්නේ ටිකට් පත් සඳහා වැට් එකතු කර ඇති බවයි. කෙසේ නමුත් ටිකට් පතේ සඳහන් කර ඇත්තේ ඩොලර් 25 ක අගය පමණක් බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

නුදුරු අනාගතයේ දී අපේ ජන සංඛ්‍යාව අඩු වෙන ප්‍රවණතාවයක් පෙන්නුම් කරනවා – මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා

මෙරට ජනගහණය ඉදිරියේ දී සැලකිය යුතු ලෙස පහළ යා හැකි බව කොළඹ විශ්විද්‍යාලයේ ප්‍රජාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා පවසනවා.

රටේ වාර්ෂිකව සිදුවන උපත් සංඛ්‍යාව ඉතාම ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බවත් 2013 වසරේ සිදුවූ උපත් සංඛ්‍යාව සමඟ 2022 වසරේ සිදුවූ උපත් සංඛ්‍යාව සන්සන්දය කළහොත් උපත් සංඛ්‍යාව 90,000 කින් පමණ අඩුවී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ අනුව එය 25% ක අඩුවීමක් බවත් උපත් සංඛ්‍යාව අඩුවීම මරණ සංඛ්‍යාව වැඩිවීම හා තරුණ ප්‍රජාව විදෙස්ගත වීම ඇතුළු කරුණු කිහිපයක් මෙම තත්ත්වයට හේතුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ශකිබ් අල් හසන්ට මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන් එරට පැවති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර තිබෙනවා.

ෂකීබ් ඔහුගේ සමීපතම ප්‍රතිවාදියා වන කාසි රෙසාවුල් හොසේන්ට වඩා ඡන්ද 1,50,000 ක පරතරයකින් ජයගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා ද අවාමි ලීගය සමඟ තවත් ධුර කාලයක් ලබාගෙන තිබීම විශේෂත්වයක් වන අතර ඇයගේ පක්ෂය පාර්ලිමේන්තුවේ ආසන 300 න් 200 ක් දිනාගෙන තිබෙනවා.