අධිවේගී මාර්ගයේ වෑන් රථයක් ලොරියක ගැටී විදෙස් ජාතිකයෙක් මරුට

අධිවේගී මාර්ගයේ කඩවත සහ කෙරවලපිටිය අතර කොටසේ සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස්, තවත් තිදෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

වෑන් රථයක් ලොරි රථයක පිටුපස ගැටීමෙන් අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එම අනතුරෙන් විදෙස් ජාතිකයෙකු මියගොස් ඇති අතර තුවාල ලැබූවන් රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සනත් නිශාන්ත අමාත්‍යවරයා​ගේ දේහය අද නිවසට රැගෙන යයි

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය අද (26) පුත්තලමේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන යාමට නියමිතව තිබෙනවා.

දේහය මහජන ගෞරවය සඳහා ඊයේ පස්වරුවේ බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක් වෙත රැගෙන ආ අතර එය අද පෙරවරු 10.30 ට ආරච්චිකට්ටුව ප්‍රදේශයට රැගෙන යාමට නියමිත බවයි සඳහන් වන්නේ.

ඒ අනුව දේහය පිළිබද අවසන් කටයුතු ලබන 28 වන ඉරිදා සිදුකිරීමට නියමිතව තිබෙනවා.

බෙලිඅත්ත ඝාතන සිද්ධිය සම්බන්ධ​ව තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට තවත් පුද්ගලයන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ගාල්ල වංචාවල ප්‍රදේශයේදී අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී හෙරොයින්ද සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

Online Safety පනත ගැන ජනතාවගෙන් 66% ක් දන්නේ නැහැ – Verité Research

පසුගියදා සම්මත වූ Online Safety පනත පිළිබඳ ජනතාවගේ දැනුම ඉතා අල්ප බව Verité Research සමීක්ෂණ ආයතනය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව මෙම සමීක්ෂණයේදී 66% ක් මෙම පනත සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවට අනාවරණය වී ඇති අතර, පනත ගැන දැනුවත්ව ඇත්තේ 34% ක පිරිසක් බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ.

එසේම 56% ක පිරිසක් මෙම පනත හරහා සමාජ මාධ්‍ය භාවිතයට ඇති නිදහස අඩුවන බවට ප්‍රකාශ කර ඇති අතර 25% ක් මෙම පනත මඟින් වැඩි වෙනසක් සිදුනොවන බව ප්‍රකාශ කර තිබෙනවා.

තවත් 19% ක් සමාජ මාධ්‍ය අවභාවිතය මේ හරහා අඩුවනු ඇති බවට ප්‍රකාශ කර ඇති බවයි වෙරිටේ රිසර්ච් ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

65b334b30cc58

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අද (26) යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

කඩිගමුව හා ඉහළ කෝට්ටේ අතර දුම්රිය පීලී පැනීමක් හේතුවෙන් ඊයේ රාත්‍රි දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබුණා.

SLU19 vs NAMU19 : ශ්‍රී ලංකාවට ලකුණු 77 ක ජයක්

වයස අවුරුදු 19 පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා නැමීබියා කණ්ඩායම අතර තරගය පැවති තරගයෙන් ලකුණු 77 ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව කාසියේ වාසිය දිනාගත් නැමීබියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 38 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 133 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපුන් වඩුගේ නොදැවී ලකුණු 56 ක් ලබාගත් අතර අනෙක් කිසිඳු පිතිකරුවෙක් ලකුණු 20 සීමාවට හෝ පැමිණිමට නොහැකි වුණා.

පන්දු යැවීමේදී නැමීබියා කණ්ඩායම වෙනුවෙන් Zacheo van Vuuren කඩුලු 4 ක් හා Johannes de Villiers කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නැමීබියා කණ්ඩායමට පන්දුවාර 27 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 56 ක් පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශ්ව ළහිරු හා රුවිෂාන් පෙරේරා කඩුලු 3 බැඟින් සහ දිනුර කලුපහන කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

චමරි අතපත්තු වසරේ එක්දින ක්‍රීඩිකාව ලෙස ICCය නම් කරයි

2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කර තිබෙනවා.

එම වසරේ එක්දින පිටියේ ඇය දැක්වු දක්ෂතා අනුව මෙම නම්කිරීම සිදුකර ඇති අතර, 2023 වසර තුළදී ඇය තරග 08කට සහභාගී වී ලකුණු 415ක් රැස්කරගෙන තිබෙනවා.

Online Safety පනත ගැන අමරිකානු රජය කනස්සල්ල පළ කරයි

ඊයේ (24) පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද Online Safety පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අමරිකානු රජය අද (25) සිය කනස්සල්ල පළ කර තිබෙනවා.

මෙම පනත ප්‍රකාශනයේ නිදහසට, නවෝත්පාදනයන්ට සහ පෞද්ගලිකත්වයට තර්ජනයක් වන බවට පවසන සිවිල් සමාජය සහ තාක්ෂණික සමාගම් ඇතුළු ප්‍රධාන පාර්ශවකරුවන්ගේ වැදගත් අදහස් ඇතුළත් නොකර, ඊයේ සම්මත කිරීමෙන් ඇති විය හැකි බලපෑම පිළිබඳව තමන් කනස්සල්ලට පත්ව සිටින බව ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් X පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

අදාළ පනත හරහා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අනතුරේ හෙළීමට අමතරව, නොපැහැදිලි සහ පමණට වඩා සීමා සහිත නීති මගින් ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය අඩාල කරන බවද, ආයෝජනයට සහ ඩිජිටල් ආර්ථිකයක සංවර්ධනයටද එය බාධාවක් විය හැකි බවද ඇය පෙන්වා දෙනවා.

එබැවින් විනිවිදභාවයට ප්‍රමුඛත්වය දෙන ලෙසත්, කිසිදු නීති සම්පාදනයක් හරහා රටේ ජනතාවගේ හඬ යටපත් නොවන බවට සහතික වන ලෙසත් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව එම X පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

යුක්තිය මෙහෙයුමෙන් සැකකරුවන් 838 ක් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුම යටතේ පසුගිය පැය 24 ක කාලය තුළ සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 838ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 549ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 289ක් ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බවයි සඳහන් වන්නේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 549 දෙනා අතරින් සැකකරුවන් 05කට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරන අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 10ක් පුනරුත්ථාපනය සඳහා යොමුකර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය සහ පොලිස් විශේෂ කාර්යාංශ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 14ක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 289 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 35ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධ විවෘත වරෙන්තුකරුවන් 246ක් ද සිටින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මෙම මෙහෙයුමේදී හෙරොයින් 211g ක්, අයිස් 78g ක්, ගංජා 16kg 600g ක්, ගංජා පැළ 9,974ක්, මත්පෙති 1,192 ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් යළිත් පිරිසක් පළා යයි

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් 35ත් 40ත් අතර ප්‍රමාණයක් යළිත් පළාගොස් තිබෙනවා.

ඒ අනුව එහි දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති අතර එම අවස්ථාවේදී මෙම පිරිස පළා ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

පොලීසිය විසින් තත්ත්වය පාලනයට අවශ්‍ය පියවර ගෙන ඇති අතර රැඳවියන් පිරිස සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.