සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල CID යට කැඳවයි

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂල අද (29) ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා.

ඔහු විසින් YouTube සමාජ මාධ්‍යයෙහි පළ කර තිබූ වීඩියෝවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම කැඳවීම සිදුකර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යාමට පෙර පියත් නිකේෂල සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් එසැණ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් සිදුකළ විමසීමකදී සඳහන් කළේ, මේ වන විටත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරමින් පවතින බවයි.

නිදහස් උත්සවයට සමගාමීව විශේෂ රථවාහන සැලැස්මක්

76 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

ඒ අනුව එහි පෙරහුරු පැවැත්වෙන 30,31,01,02,03 යන දිනයන්වලත් නිදහස් උත්සවය පැවැත්වෙන දිනයේත් මෙය ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.

නිදහස් සමරු උත්සවයේ පෙරහුරු පුහුණුවීම් කටයුතු සඳහා පෙරවරු 6.00 සිට දහවල් 12.00 දක්වාද නිදහස් සැමරුම් උත්සවය වෙනුවෙන් පෙබරවාරි 03වැනි දින පස්වරු 02.00 සිටද රථවාහන ගමනාගමනය සීමා කිරීම, මාර්ග වසා තැබීම් සිදුකරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ රථ වාහන සැලැස්ම පහතින්.

65b787971c400

යුනිෆෝම් එකක් ඇඳන් ඉන්නවා නම් ගැහුවොත් ගහන්න ඕනෙ අනිත් පැත්තට – ටිරාන්

තමාට ප්‍රථමයෙන් සිදු කිරීමට සිදුවූයේ පොලිස් නිලධාරීන්ව ශක්තිමත් කිරීම බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

රාජකාරී නිල ඇඳුම ඇඳ සිටින්නේ නම් කවුරුන් හෝ පහරදීමට පැමිණෙන්නේ නම්, පෙරළා පහරදිය යුතු බවත්, නැතහොත් අදාළ නිල ඇඳුමෙන් ප්‍රයෝජනයක් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

තමාට දැඩි තීරණ ගැනීමට සිදුවූ බවත්, එම තීරණ ගැනීමට හැකිවූයේ ජනාධිපතිවරයා තමන්ට ලබාදුන් ශක්තිය නිසා බවයි උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන්ද මෙම මෙහෙයුම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, තමා අමාත්‍ය ධූරයේ සිටිනතාක් ජාත්‍යන්තරයට අවශ්‍ය ආකාරයෙන් තමා වැඩ නොකරන බවයි.

හිටපු ක්‍රීඩා ඇමති නිකුත් කළ ගැසට් නිවේදනයක් වත්මන් ක්‍රීඩා ඇමති අවලංගු කරයි

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අවලංගු කර එහි කටයුතු පවත්වාගෙන යාම  සදහා පත්කර තිබූ අතුරු කමිටු විසුරුවා හැරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පියවරගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ අතරු කමිටු විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

එවකට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රොෂාන් රණසිංහ විසින් කරාතේ දෝ සම්මේලනයේ සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවා අතුරු කමිටු පත් කිරීමට කටයුතු කර තිබුණා.

අදාළ ගැසට් නිවේදන පහතින්.

යුක්තිය මෙහෙයුමෙන් තවත් 803 ක් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුම යටතේ පසුගිය පැය 24 ක කාලය තුළ සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 803 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 562ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 241ක් සමගින් මුළු සැකකරුවන් 803 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 562 දෙනා අතරින් සැකකරුවන් 05කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 01ක් පුනරුත්තාපනය සදහා යොමු කර තිබෙනවා.

අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 241 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 11 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 214ක් සිටින බවද සඳහන්.

මෙම මෙහෙයුමේදී හෙරොයින් 212g ක්, අයිස් 101g ක්, ගංජා 01kg 852g ක්, ගංජා පැල 443 ක්, මාවා 02kg 117 g ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩගුවට ගෙන තිබෙනවා.

ලෝක ලාදුරු දිනය අද

ලෝක ලාදුරු දිනය අදට යෙදී තිබෙනවා.

ලාදුරු රෝගය සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම මෙහි ප්‍රධානතම අරමුණ බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර සඳහන් කළේ.

ඒ අනුව සෙසු රටවලට සාපේක්ෂව මෙරට ලාදුරු රෝගය වැළඳුණු වයස අවුරුදු 14ට අඩු දරුවන් සංඛ්‍යාව ඉහළ යාමක් පෙන්නුම් කරන බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට සඳහන් කළා.

පසුගිය  වසරේ ලාදුරු රෝගීන් 1550 ක් වාර්තා වූ බවත් එසේම පසුගිය වසරේ ලෝකයේ වෙනත් රටවල මුළු රෝගී සංඛ්‍යාවෙන් 6% ක් දරුවන් වාර්තා වන විට ශ්‍රී ලංකාවේ එම අගය 11% ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ඇය සඳහන් කළා.

යම් අයෙකුට ලාදුරු රෝගයේ ලක්ෂණ ඇත්නම් ඒ සඳහා බියවිය යුතු නොමැති බවත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර තිබෙන බැවින් ළඟම රෝහලේ සමේ රෝග සායනයට යොමුවී ප්‍රතිකාර ලබා ගැනීමට බවයි  විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට වැඩිදුරටත් සඳහන් කළේ.

සනත් නිශාන්ත අමාත්‍යවරයාගේ අවසන් කටයුතු අද

කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (28) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසේදී අවමංගල්‍ය කටයුතු ආරම්භවීමට නියමිත අතර ඉන් අනතුරුව දේහය රාජකදළුව කතෝලික සුසාන භූමිය වෙත ගෙනගොස් භූමදානය කිරීමට නියමිතයි.

SLU19 vs AUSU19 : ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තරගය අද

වයස අවුරුදු 19 පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තවත් තරගයක් අද (28) පැවැත්වෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර එම තරගය පැවැත්වීමට නියමිතයි.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 1.30 ට ආරම්භවීමට නියමිතයි.

30 වනදා සිට ගාලුමුවදොර ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්

76වන නිදහස් සැමරුමේ පෙරහුරු හේතුවෙන් ලබන 30 වනදා සිට පෙබරවාරි 03 වනදා දක්වා කාලය තුළ කොළඹ ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

ඒ අනුව පෙරහුරු පැවැත්වෙන කාල සීමාවේ ගාලු මුවදොර මාර්ගය වසා තැබෙන බවයි රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සඳහන් කළේ.

කොල්ලුපිටියේ සිට කොළඹට ඇතුළුවන වාහන සීමා කිරීමක් සිදුවන අතර සෙරමික් හන්දියේ සිට ගාලුමුවදොර දක්වා රථවාහන ගමනාගමනය සීමා කරන බවයි සඳහන් කළේ.

එසේම පෙබරවාරි 03 වනදා දහවල් 2.00 සිට නිදහස් සැමරුම් උත්සවය අවසන් වන  තෙක් ගාලු මුවදොර ආශ්‍රිත මාර්ග රැසක් වසා තැබෙන බවද රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ වැඩිදුරටත් සඳහන් කළා.

සනත් නිශාන්ත අමාත්‍යවරයාගේ රියදුරු රිමාන්ඩ් භාරයට

සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා අනතුරට පත් රථයේ රියදුරා වන 28 හැවිරිදි ප්‍රභාත් එරංග නමැති පුද්ගලයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු පෙබරවාරි මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට වැලිසර මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රථය පැදවූ රියදුරා මෙම මාරක රිය අනතුර සම්බන්ධයෙන් පොලීසියට කරුණු දක්වා තිබෙන බවද සඳහන්.