සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල ඇප මත මුදා හැරේ

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල ඇප මත මුදා හැරීමට අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.

ඒ අනුව නඩුව අද (31) කැඳවූ අවස්ථාවේදී අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඔහු විසින් YouTube සමාජ මාධ්‍යයෙහි පළ කර තිබූ වීඩියෝවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

කෙහෙළියගේ නඩුවේ මූලික විරෝධතාව ගැන තීන්දුව පෙබරවාරි 16 ප්‍රකාශයට පත් කරයි

අල්ලස් කොමිසම විසින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්දට එරෙහිව ගොනුකර ඇති නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බවට මතුකර තිබෙන මූලික විරෝධතාව පිළිබඳ තීන්දුව පෙබරවාරි මස 16 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය අද (31) දැනුම්දී තිබෙනවා.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතා මතුකරමින් මෙම නඩුව නීතිය ඉදිරියේ පවරා පවත්වාගෙන යාමට නොහැකි බවත්, එය නිෂ්ප්‍රභ කරන ලෙසත් දන්වමින් මූලික විරෝධතා මතු කර තිබෙනවා.

එම මූලික විරෝධතා පිළිබඳව කරුණු සලකා බැලූ අධිකරණය එහි නියෝගය පෙබරවාරි මස 16 වනදා ප්‍රකාශයට පත්කරන බවයි ප්‍රකාශ කර ඇත්තේ.

2012 වසරේ මාර්තු මස 15 වනදා සහ එම වසරේ අප්‍රේල් මස 15 වනදා අතර කාලසීමාව තුළ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ පෞද්ගලික ජංගම දුරකථනයට අදාළ වන රුපියල් දෙලක්ෂ තිස්දාහක මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසු විරෝධතාවයට කඳුළු ගෑස් ප්‍රහාරයක්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසු විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

පේරාදෙණිය තානායම ආසන්නයේදී මෙලෙස පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරය එල්ලකර ඇති බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතින්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත පිරිසක් මෙරටට පැමිණෙයි

එක්සත් ජාතින්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිපික් කලාපීය සමුළුවේ සංවිධාන කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා කලාපීය ප්‍රධාන කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් මෙරටට පැමිණ තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සංදේශයක්

පටු දේශපාලන න්‍යාය පත්‍රයන් ඔස්සේ ක්‍රියාත්මක වන වෘත්තීය සමිති නායකයින් කිහිපදෙනෙකුට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍ය නොවන කාර්ය මණ්ඩල වල අභිමානය විනාශ කිරීමට ඉඩ ලබා නොදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

හෙට (01) දිනයේ සිට යළි වර්ජන ක්‍රියාමාර්ගවලට එළඹෙන බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ජාතික ව්‍යාපාරය සිදු කළ ප්‍රකාශය ප්‍රතිචාර දක්වමින් ඔවුන් මේ බව සඳහන් කර තිබෙනවා.

රජයේ සෞඛ්‍ය ආයතනවල සේවය කරන සියලුම වෛද්‍ය නොවන කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙත විවෘත සංදේශයක් යොමු කරමින් ඔවුන් මේ බව සඳහන් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

ශෂීන්ද්‍ර රාජපක්ෂට රාජ්‍ය අමාත්‍ය ධූරයක්

වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ දිවුරුම්දී තිබෙනවා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ ඔහු මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කොළඹ වරායට එන නැව් සංඛ්‍යාවේ ඉහළ යෑමක්

2024 වසරේ ගත වූ දින 29 තුළ පමණක් නෞකා 330කට අධික ප්‍රමාණයක් කොළඹ වරායට සේන්දු වී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් අධ්‍යක්ෂ යූ. කුමාර සඳහන් කරනවා.

රතු මුහුද ආශ්‍රිතව පවතින ගැටුම්කාරි තත්ත්වය හමුවේ කොළඹ වරායට සේන්දුවන නෞකා සංඛ්‍යාව ප්‍රමාණාත්මකව ඉහළ ගොස් තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

එසේම, කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම් සංඛ්‍යාව ද ඉහළ ‍ගොස් ඇති බවත්, පසුගිය දින 29 තුළ පමණක් වරාය අධිකාරියට අයත් පර්යන්තවල සිදු කළ බහාලුම් මෙහෙයුම් ධාරිතාවය පෙර වසරේ එම කාලයට සාපේක්ෂව 60.9% කින් ඉහළගොස් ඇති බවයි මෙහෙයුම් අධ්‍යක්‍ෂකවරයා වැඩිදුරටත් පවසන්නේ.

යුක්තියේ මෙහෙයුමට හසු නොවන අවුරා ලංකා තාඹුගල නැවතත් රාජාංගනය වනසමින් සිටින බව ට ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර චෝදනා කර සිටී.

 

සජීව චාමිකර මහතා මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මෙසේ කියා සිටී.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට හා රජයට අයත් වනාන්තර ඉඩම් අක්කර එක්ලක්ෂ හාරදහසක් තිස් අවුරුදු බදු ක්‍රමය යටතේ ලබා ගෙන අපනයනය සඳහා කෝමාරිකා වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගමේ විරංජිත් තාඹුගල නැවත වරක් රාජාංගන යාය 18 ගම්මානයේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආශ්‍රිත ව නීති විරෝධී ව වගා බිම් සැකසීම ආරම්භ කර ඇත. පාරිසරික හෝ ඉඩම් අනුමැතීන් ලබා ගැනීමකින් තොර ව රජයට අයත් ඉඩම් හා වනාන්තර බලහත්කාරයෙන් අත්පත් කර ගෙන භූමිය සැකසීම යළිත් වරක් මේ ආකාරයෙන් සිදු කරමින් පවතී.
රාජාංගනය යාය 18 ගම්මානයේ ජනතාව පීඩනයට ලක් කරමින් ඔවුන් ගේ වගා බිම් හා කුඹුරු ඉඩම් පමණක් නොව කහඹිලියාපිටිය වැව අත්පත් කර ගැනීම ඇතුළු නීති විරෝධී ක්‍රියා සිදු කිරීමට තාඹුගල ගේ මුදල් මත යැපෙන 456 තුළාන ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරී ඩී. එල්. ජගත් චමින්ද සිරි විසින් සහයෝගය ලබා දේ. මීට අමතර ව මෙම සමාගමේ නීති විරෝධී ක්‍රියා සියල්ලට ම අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර ගේ සහයෝගය ලැබෙන බව ද වාර්තා වේ. මේ සියලු සහයෝගයන් මත තාඹුගල රාජාංගනය යාය 18 ගම්මානය ඔහු ගේ අණසකට නතු කර ගෙන ඇත.
අවුරා ලංකා සමාගම් ජාලයේ සභාපතිවරයා ලෙස පෙනී සිටින විරංජිත් තාඹුගල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හා හමුදා බුද්ධි අංශ මගින් පරීක්ෂණ පවත්වා ඔහුගේ සියලු ම නීති විරෝධී ක්‍රියා මේ වන විට අනාවරණය කර ගෙන තිබේ. නමුත් අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී සංජිව මහානාම විසින් තාඹුගල ගේ මුදල් බලය මත ඔහු ව අත් අඩංගුවට ගැනීමේ කටයුතු වලට බාධා කරමින් පවතී. මේ නිසා පසුගිය කාලයේ තාවකාලික ව නතර කර තිබූ නීති විරෝධී ඉඩම් සංවර්ධන කටයුතු නැවත වරක් ආරම්භ කර ඇත.
බොහෝ දෙනෙක් චෝදනා කරන්නේ යුක්තියේ මෙහෙයුම දේශපාලන හා ව්‍යාපාරික බලය නොමැති පුද්ගලයන් මත පමණක් ක්‍රියාත්මක වන බව ය. ඒ අතරතුර විරංජිත් තාඹුගල වැනි ජාවාරම්කරුවන්ට යුක්තියේ මෙහෙයුම ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ගෙන් රැකවරණය ලැබීමෙන් මේ බව තවදුරටත් තහවුරු වේ.
පසුගිය කාලයේ දී එස්. එම්. චන්ද්‍රසේන හිටපු ඉඩම් අමාත්‍යවරයා හා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් ලැබුණු දේශපාලන රැකවරණය අද වන විට තාබුගල විසින් ලබා ගෙන ඇත්තේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, විජේදාස රාජපක්ෂ ගෙන් හා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ගෙනි. රජරට ගොවි තරුණ තරුණියන් විදේශ රටවල සේවයට යවා ඉඩම් නිදහස් කර ගැනීමට මනුෂ නානායක්කාර අමාත්‍යවරයා හරහා මේ වන විට සැලැසුම් සකස් කර ඇති අතර විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සහයෝගය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් ගේ වගා බිම් හා වනාන්තර ඉඩම් අවුරා ලංකා, කෝමාරිකා වගා ව්‍යාපෘතියට ලබා ගැනීමට පියවර ගනිමින් සිටී.
නමුත් මේ සියල්ල සිදු කරන්නේ අණ පනත් ගණනාවක් උල්ලංඝනය කරමිනි. විල්පත්තුව ජාතික වනෝද්‍යානය මායිමේ මෙම ව්‍යාපෘතියට අදාළ සංවර්ධන කටයුතු සිදු කරන්නේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරමිනි. මෙම පනතේ 9අ(1) උප වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ ඕනෑ ම ආකාරයක සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට ප්‍රථම වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ ලිඛිත අනුමැතිය ලබා ගත යුතු ය. 9අ(2) උප වගන්තියට අනුව එම අනුමැතිය ලබා ගැනීම සඳහා 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් මත පදනම් ව එම අනුමැතිය ලබා ගත යුතු ය. පනතේ 10(ඈ) උප වගන්තියට අනුව එවන් අනුමැතියකින් තොරව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ යම් සංවර්ධන ක්‍රියාවලියක නිරත වන පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් පහළොස්දහසත් පනස් දහසත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. ඒ සඳහා ක්‍රියාත්මක වීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව ඇත.
අවුරා ලංකා සමාගම මගින් ගොවි ජනතාවගේ ඉඩම්, රජයට අයත් පොදු ඉඩම් හා වනාන්තර ප්‍රදේශ එළිපෙහෙලි කිරීම සිදු කරනු ලබන්නේ ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමිනි. මෙම පනතේ 23 බ උප වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වඩා වැඩි වනාන්තර ඉඩම් එළිපෙහෙලි කිරීමට ප්‍රථම හෝ හෙක්ටයාර 50 කට වැඩි භුමි ප්‍රදේශ එළිපෙහෙලි කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී එවන් කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැත.
අවුරා ලංකා සමාගම මගින් කහඹිලියාපිටිය වැව සංවර්ධනය කර ඇත්තේ ද කිසිදු අනුමැතියකින් තොරව ය. ජාතික පාරිසරික පනතේ 23 බ වගන්තියට ම අනුව ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 වන දින අංක 859/14 දරන ගැසට්‌ නිවේදනයට අනුව පොදු වැවක ඉහළ පිටාර මට්ටම් සමුච්ඡයේ සිට මීටර 100 ක් වටා කලාපය හෝ එකී වැව ඇතුළත යම් සංවර්ධන ක්‍රියාවලියක් සිදු කරන්නේ නම් ඒ සඳහා පරිසර බලපෑම් තක්සේරු කරණ ක්‍රියාවලියට යටත්ව අනුමැතිය ලබා ගත යුතු ය. මෙම නීතිමය තත්ත්වය ද උල්ලංඝනය කරමින් මෙම සංවර්ධන කටයුතු සිදු කෙරෙමින් පවතී.
පරිසර බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලියට යටත් ව අනුමැතියකින් තොරව නීති විරෝධීව සිදු කරන මෙම සියලු ක්‍රියා වලට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ඇත. ජාතික පාරිසරික පනතේ 23 අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී එවන් පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට පනතේ 31 වගන්තියට අනුව රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත
කිරීමකට හෝ මෙම දඬුවම් දෙකට ම යටත් කළ හැකි ය. නමුත් අද වන තුරු මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් තාඹුගල ගේ මුදල් බලය ඉදිරියේ නීතිය ක්‍රියාත්මක කිරීමට යොමු වී නොමැත.
පාරිසරික පනත් වලට අමතර ව 1940 අංක 9 දරන පුරාවස්තු ආඥා පනත ද උල්ලංඝනය කරමින් මෙම සංවර්ධන කටයුතු සිදු කෙරේ. පුරාවස්තු ආඥා පනතේ 43 අ හා 47 වගන්ති යටතේ ප්‍රකාශිත 2000 ඔක්තෝම්බර් 4 වන දින අංක 1152/14 දරන ගැසට්‌ නිවේදනයට අනුව වැව් ප්‍රතිසංස්කරණය කිරීම, කෘෂිකාර්මික ව්‍යාපෘති සංවර්ධනය කිරීම, හෙක්ටයාර දෙකක් ඉක්මවන භුමි ප්‍රදේශ එළි කිරීම, ඒකාබද්ධ බහුකාර්ය සංවර්ධන ක්‍රියාවලීන් සිදු කිරීම සඳහා හෙක්ටයාර එකක් ඉක්මවන භූමි ප්‍රදේශ එළි කිරීම යන සියලු ක්‍රියාවලීන් සිදු කිරීමට ප්‍රථම පුරා විද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් අවුරා ලංකා සමාගමේ ව්‍යාපෘතිය සඳහා එවන් කිසිදු අනුමැතියක් ලබා ගෙන නොමැත. එහෙත් අද දක්වා මෙම නීති ක්‍රියාත්මක කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට නොහැකි වී ඇත.
ඒ අනුව වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත, ජාතික පාරිසරික පනත, පුරා වස්තු ආඥා පනත යන අණ පනත් උල්ලංඝනය කරමින් මෙම සමාගම යාය 18 ගම්මානය සම්පූර්ණයෙන්ම විනාශ කරද්දී මේ ආකාරයෙන් වගකිව යුතු රාජ්‍ය ආයතන නිහඬව සිටීම ගැටළුවට කරුණකි. මේ අනුව පෙනී යන්නේ නීතියේ සමානාත්මතාව, නීතියේ ආධිපත්‍යය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය රට තුළ සම්පූර්ණයෙන් ම බිඳ වැටී ඇති බව ය. මේ නිසා අලි – මිනිස් ගැටුම, ජල අර්බුධ, සමාජ ආර්ථික ගැටළු රැසකට ගොවි ජනතාව ගොදුරු වී ඇත. වත්මන් ආණ්ඩුව සමාගම් හා ව්‍යාපාරිකයන්ට රිසි සේ කටයුතු කිරීමට ඉඩ දී ගොවි ජනතාව වගා බිමෙන් අවතැන් කර දරුණු පීඩනයකට ලක් කරන බව ද මේ මගින් තහවුරුව තිබේ. මේ පිළිබඳ ව ගොවි ජනතාව මෙන් ම සියලු ප්‍රජාව ඉතා හොඳින් අවබෝධ කර ගත යුතු අතර ඊට එරෙහිව කටයුතු කිරීමට පෙරමුණ ගත යුතු ය. එසේ නොමැති වුවහොත් ඉතා කෙටි කාල සීමාවක් තුළ දී ගොවි බිම් හා වනාන්තර යන සියල්ල සමාගම් හා මහ පරිමාණ ව්‍යාපාරිකයන් සතු වීම මත ගොවි ජනතාව අවතැන් වීම වළක්වා ගත නොහැකි වනු ඇත.

WhatsApp Image 2024-01-30 at 20.41.39

සමගි ජන බලවේගයේ විරෝධතාවට තවත් අධිකරණ නියෝගයක්

සමගි ජන බලවේගයේ විරෝධතා රැළියට එරෙහිව තවත් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම විරෝධතාවට සහභාගී වන පිරිස මුදල් අමාත්‍යාංශයට සහ ජනාධිපති ලේකම් කර්යලයට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියොගයක් නිකුත් ඇති බවයි සඳහන් වන්නේ.

සමගි ජන බලවේගය අද (30) දින දහවල් 1.30 ට කොළඹදී විරෝධතා පා ගමනක් සහ රැළියක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පුත්තලමේ ජනතාව දේශපාලනයට එන ලෙස ඉල්ලීමක් කරනවා නම් ඒ ගැන සලකා බලන්න වෙනවා – සනත් නිශාන්තගේ බිරිඳ

තම ස්වාමි පුරුෂයාගෙන් හිස් වූ දේශපාලන නායකත්වය භාරගන්නැයි පුත්තලමේ ජනතාව මෙන්ම පක්ෂයෙන්ද ඉල්ලීමක් කරන්නේ නම්, ඉදිරියේදී තමාට ඒ පිළිබඳව සලකා බැලීමට සිදුවන බව අභාවප්‍රාප්ත අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිඳ පවසනවා.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් අනුරාධ ජයකොඩිගේ නිවසට පැමිණ, එම පවුලේ ඥාතීන්ට ශෝකය පළ කළ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඇය මේ බව සඳහන් කළා.

තමා තම ස්වාමියාගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළද දේශපාලනයට පැමිණීමට කිසි දිනෙක බලාපොරොත්තුවක් නොතිබූ බවත්, දැනටත් එවැනි බලාපොරොත්තුවක් නොමැති බවයි ඇය සඳහන් කළේ.