රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙක් වෙඩි තබාගෙන සියදිවි නසා ගනියි

අම්පාර පදියතලාව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව අද (06) අලුයම 5.15ට පමණ පදියතලාව පොලිස් ස්ථානයේ මුර කුටිය තුළී ඔහු සියදිවි හානි කරගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ, 59 හැවිරිදි, බිබිල ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සබරගමුව නවක වද සිදුවීමට සම්බන්ධ තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට

සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවෙක් නවක වදය හේතුවෙන් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සිසුන් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 10 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා බලංගොඩ ‍මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

ඡන්දේ දාලා සාමකාමීව ගෙදරට වෙලා ඉන්න – මැතිවරණ කොමිසමේ සභාපති

ඡන්ද දායකයින් විසින් හැකි තාක් කල්වේලා ඇතිව ඡන්දය භාවිතා කිරීමට කටයුතු කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.

එය පෝලිම්වල තදබදයක් ඇතිවීම වැළැක්වීම සඳහා උපකාරී වනු ඇති බවයි අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ.

ඡන්දය භාවිතා කිරීමෙන් අනතුරුව සාමකාමීව නිවෙස්වලට වී සිටිනා ලෙසට සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කටුනායකදී පොලීසියෙන් වෙඩි තැබීමක්

කටුනායක, 18 කණුව ප්‍රදේශයේදී අද (06) උදෑසන 10.00 ට පමණ පොලීසිය විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයෙකුට මෙලෙස පොලීසිය විසින් වෙඩි තබා ඇති බවයි සඳහන් වෙන්නේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මීගමුව රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා බංග්ලාදේශ තරග කාලසටහන නිවේදනය කෙරේ

තරග සංචාරයක් සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ජුනි මස දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් හා විස්සයි විස්ස තරග තුනක් මෙම සංචාරයට ඇතුළත් වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

ටෙස්ට් තරගාවලිය ජුනි 17 සිට 29 දක්වා පැවැත්වෙන අතර, එක්දින තරගාවලිය ජුලි 02 සිට ජුලි 08 දක්වාත්, විස්සයි විස්ස තරගාවලිය ජුලි 10 සිට ජුලි 16 දක්වාත් පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන පහතින්.

news images

Battle of the Bands තරගාවලියේ අනු ශූරතාව Knights සංගීත කණ්ඩායමට

ඉන්දියාවේ පැවති Battle of the Bands තරගාවලියේ අනු ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ Knights සංගීත කණ්ඩායම සමත්වුණා.

ඉන්දියාවේ තොරතුරු හා විකාශන අමාත්‍යංශය සහ එරට ‘සරිගම’ සංගීත ආයතනය එක්ව සංවිධානය කර තිබුණු මෙම තරගාවලිය සඳහා රටවල් 12ක් නියෝජනය කරමින්, සංගීත කණ්ඩායම් 12ක් සහභාගි වුණා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගි වූ Knights සංගීත කණ්ඩායමට තරිඳු නිර්මාණ, දනිඳු පෙරේරා, රුක්ෂාන් සිල්වා, කවිශ්ක අශාන් සහ ගීසර විජේකෝන් යන අය ඇතුළත් වුණා.

තරගාවලියේ අනුශුරතාව දිනාගත් ඔවුන් අද (05) යළි දිවයිනට පැමිණි අතර, ඔවුන් පිළිගැනීම සඳහා ගායන ශිල්පීන් ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්න‍ේ.

පළාත් පාලන මැතිවරණය හෙටයි

පළාත් පාලන මැතිවරණය හෙට (06) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හෙට (06) පෙරවරු 7.00 සිට පස්වරු 04.00 දක්වා, දිවයින පුරා මධ්‍යස්ථාන 13,759කදී පැවැත්වීමට නියමිතයි.

පළාත් පාලන ආයතන 339ක් සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමේ දී ඡන්ද හිමියන් 17,156,338 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට මෙවර සුදුසුකම් ලබා තිබෙන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.ඡන්දය ප්‍රකාශ කිරීමේදී සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පූජ්‍ය/පූජක හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පතේ තොරතුරු තහවුරු කිරීමේ ලිපිය, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත, ආබාධිත තැනැත්තන්ට නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත යන ලේඛනවලින් එකක් භාවිතා කර, සිය අනන්‍යතාව තහවුරු කර ඡන්දය භාවිතා කිරීමේ හැකියාව පවතිනවා.

මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණ ද, ලියාපදිංචි සෑම ඡන්ද දායකයෙකුටම ඡන්දය භාවිත කිරීමට අවස්ථාව හිමිවන බවත්, ඒ සඳහා තමන්ට අයත් ඡන්ද මධ්‍යස්ථානයට ගොස්, වලංගු ආකාරයේ අනන්‍යතාව තහවුරු ‍කිරීමේ ලේඛණයක් ඉදිරිපත් කර, ඡන්දය භාවිතා කළ හැකි බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය භාවිතා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැහැදිළි කිරීමක් සිදුකර තිබෙන අතර, ඒ අනුව, පළමුවෙන්ම ඇති කොටුවේ ඇත්තේ දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ නම බවත්, දෙවනුවට ඇති කොටුවේ අදාළ පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ සලකුණ සටහන් කර ඇති බවත්, එයට ඉදිරියෙන් ඇති හිස් කොටුවේ එක් කතිරයක් යෙදීමෙන් තමන්ගේ ඡන්දය සටහන් කළ හැකි බවත් ඔහු පවසා සිටියා.

එක් කතිරයකට වඩා යොදා තිබුණහොත් හෝ වෙනත් සලකුණු යොදා තිබුණහොත් අදාළ ඡන්දය ප්‍රතික්ෂේපිත ඡන්දයක් ලෙස සටහන් වන බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පසුගිය පැය 24 තුළ පැමිණිලි 289ක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඊයේ (04) දිනයේ පමණක් පැමිණිලි 289ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව, මේ දක්වා ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 4,628ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.

ඉන් පැමිණිලි 4,284ක් ලැබී ඇත්තේ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළව වන අතර, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 35ක් ලැබී ඇති බවද සඳහන්.

ලැබී ඇති පැමිණිලි 4,628න් 3,825ක් මේ වන විට විසඳා ඇති බවත්, සෙසු පැමිණිලි 803 සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

‍අදාළ නිවේදනය පහතින්.

news images

කොටස් වෙළෙඳපොළ හෙට 12.30 ට වැසෙයි

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් හෙට (06) පෙරවරු 9:30 සිට පස්වරු 12:30 දක්වා පමණක් ගනුදෙනු සිදු කෙරන බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී සිටිනවා.

ආයෝජකයින්, කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු වෙළෙඳපොළ සහභාගිකයින්ගේ පහසුව වෙනුවෙන් මෙලෙස සාමාන්‍ය වේලාවට පෙර වෙළෙඳපොළ ගනුදෙනු අවසන් කිරීමට තීරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

පාකිස්ථානය දෙවන වරටත් මිසයිලයක් අත්හදා බලයි

යුද පුහුණු අභ්‍යාසයක් ලෙස කිලෝමීටර් 120 ක දුරකට යැවිය හැකි මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව පකිස්ථාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අතර ඉන්දීය ආරක්ෂක ලේකම් රාජේෂ් කුමාර් සිං හා අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ඇති අතර, එහිදී ඔවුන් වත්මන් තත්ත්වය ගැන සාකච්ඡා කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඉන්දියාව සහ පකිස්ථානය අතර තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සංවෘත උපදේශනයක් අද (05) පැවැත්වීමට නියමිත අතර, මෙම ගැටලුව සම්බන්ධයෙන් හදිසි රැස්වීමක් සඳහා පකිස්ථානය විසින් ඉල්ලීමක්ද සිදුකර තිබුණා.