රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධියේ චූදිතයන් සිව්දෙනෙක් නිදොස් කොට නිදහස් කෙරේ

රතුපස්වල ප්‍රදේශයේ ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු හමුදා මේජර්වරයෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණය අද (17) තීන්දු කර තිබෙනවා.

2013 අගෝස්තු පළමු වැනිදා වැලිවේරිය නගරයේ දී කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පැවැති නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින් ගම්පහ මහාධිකරණය මේ බව සඳහන් කර තිබෙනවා.

ගම්පහ නැදුන්ගමුවේ පිහිටි වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවෙන් පිටවන අපද්‍රව්‍ය හේතුවෙන් භූගත ජලය අපවිත්‍රවීම නිසා එම කම්හල ඉවත් කරන ලෙසත්, පිරිසිදු පානීය ජලය ලබා දෙන ලෙසත් ඉල්ලමින් 2013 ජූලි මස 27 වැනිදා සිට දින පහක් පුරා පැවැති සාමකාමී විරෝධතාවයට 2013 අගෝස්තු මස පළමු වැනිදා යුද හමුදාව විසින් පහර දී වෙඩි තැබීමක් සිදුකළා.

එම ප්‍රහාරයෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මිය ගිය අතර තවත් පාසල් සිසුහු 10කට ආසන්න ගණනක් ඇතුළු 50ක පමණ පිරිසක් තුවාල ලැබුවා.

ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

කල්පිටිය සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු තීරයේ සුළඟේ වේගය විටින් විට පැයට කිමී 60-70 දක්වා වැඩිවන බවත්, මුහුද රළු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම මුහුදු ප්‍රදේශවල විටින් තද වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

මෙරට ජනතාවගෙන් 45%කට අධි රුධිර පීඩනය

මෙරට ජනගහනයෙන් 45% ක් අධි රුධිර පිඩනයට ‍ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

එය රෝග රැසකට මුල් වන රෝගයක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමින්ධි සමරකෝන් සඳහන් කළේ.

අධි රුධිර පීඩනය වැළඳීමෙන් වැළකීමට යහපත් ආහාර රටාවක් ඇතුළු නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බවයි ඇය පෙන්වා දෙන්නේ.

තම රුධිර පීඩනය වරින් වර මැන, නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් රෝගය හේතුවෙන් සිදුවන හදිසි මරණ වළක්වා ගත හැකි බවයි වෛද්‍ය සමින්ධි සමරකෝන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

වසා දැමූ ඇල්ල – වැල්ලවාය මාර්ගය යළි විවෘත කෙරේ

තාවකාලිකව වසා දැමූ ඇල්ල – වැල්ලවාය මාර්ගය නැවත ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.

දැඩි සුපරික්ෂාවෙන් අදාළ මාර්ගයේ ගමනාගමන කටයුතුවල නිරතවන ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.

කෙසේ වෙතත් අද (17) දිනයේ ද වර්ෂාව ඇද හැලුණහොත් මෙම මාර්ගය යළි අවදානම් තත්ත්වයකට පත්විය හැකි බවයි ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ.

එක නාට්‍යක නාට්‍ය 6ක්!!!

එක නාට්‍යක නාට්‍ය 6ක්!!!
#මධුරගීජවනිකා දයානන්ද ගුණවර්ධනයන්ගේ නාට්‍ය 6ක ප්‍රාසාංගික ජවනිකා එකතුවක්…

ඔබ කවුරුත් ආදරය කරන “නරි බෑනා”. “බක් මහ අකුණු”, “ජසයා සහ ලෙන්චිනා”, “ගජමන් පුවත”, “මධුර ජවනිකා” හා “ආනන්ද ජවනිකා” නාට්‍ය වලින් තෝරා ගත් හරවත් මෙන්ම ජනප්‍රිය නාට්‍ය ජවනිකා හා ගීත 20ක් දෙපැයකට ආසන්න කාලයක් වේදිකා ගත කරන මොහොතක්…

2024 මැයි 19 වෙනි ඉරිදා සවස 3.30ට හා 7.00 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේ සිදුවෙන රංගනයක්…

WhatsApp Image 2024-05-16 at 18.07.20

#දයානන්දගුණවර්ධන
#dayananda
#DayanandaGunawardena
#නරිබෑනා
#naribena
#bakmahaakunu
#madhurajavanika

උසස්පෙළ පන්ති ජූනි 04 වනදා ආරම්භ වෙයි

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදුන් සිසුන් සඳහා අපොස උසස්පෙළ පන්ති ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව එම පන්ති ජූනි 04 වනදා ආරම්භ කිරීමට නියමිත බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

ඊට අදාළ චක්‍රලේඛය පළාත් අධ්‍යාපන බලධාරීන්ට යොමුකර ඇති බවත් ඒ පිළිබඳ තොරතුරු නොලැබුණු විදුහල්පතිවරුන්ට අදාළ පළාත් සහ කොට්ඨාස කාර්යාලවලින් අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බවද සඳහන්.

මෛත්‍රීට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එරෙහිව අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු විධායක සභිකයෙකු වන මොන්ටේගු සරච්චන්ද්‍ර විසින් අල්ලස් කොමිසමට ලිපියක් යොමු කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විකුණා ලබාගත් අත්තිකාරමකින් පාස්කු වින්දිතයන්ගේ වන්දිය ගෙවා ඇති බවක් පෙනෙන්නට අති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එබැවින් අදාළ මුදල් උපයා ගත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල මඟින් මොන්ටේගු සරච්චන්ද්‍ර ඉල්ලා තිබෙනවා.

අදාළ පැමිණිල්ල ඇතුළත් ලිපිය පහතින්.

6645beb31e738 6645beb30f144

ජනපති අනිද්දා ඉන්දුනීසියාවේ සංචාරයක

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ හමුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගීවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විඩෝඩෝගේ ආරාධනයක් අනුව ජනපති රනිල් වික්‍රමසිංහ එම සංචාරයට එක්වන බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 18 සිට 20 දක්වා එරට සංචාරය කිරීමට නියමිතයි.

FoxHill අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුවිය ජීවිතක්ෂයට

දියතලාව FoxHill මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවූ අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇය බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

2024 ෆොක්ස්හිල් මෝටර් රථ ධාවන තරගාවලිය අප්‍රේල් 21 වැනිදා පෙරවරුවේ දියතලාව නරියාකන්ද ධාවන පථයේ දී ආරම්භ වූ අතර, එහිදී සිදුවු මාරක අනතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වුණා.