නාමයෝජනා භාර ගැනීම නිල වශයෙන් අවසන් වෙයි

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීමේ කාලය නිල වශයෙන් මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් අතරින් 39 ක් නාමයෝජනා භාරදී ඇති බවයි සඳහන් වෙන්නේ.

පෙරවරු 11.00 සිට 11.30 දක්වා විරෝධතා දැක්වීම සඳහා කාලය වෙන් කර තිබෙනවා.

තිරප්පනේ පාසැලක සිසුන් 21ක් හදිසියේ රෝහල් ගත කෙරේ..

24-08-15
කැකිරාව කුෂාන් ජයවර්ධන

තිරප්පනේ පාසැලක සිසුන් 21ක් හදිසියේ රෝහල් ගත කෙරේ..
============

හදිසියේ ඇති වූ ඇඟ කැමීමේ තත්වයක් හේතුවෙන් තිරප්පනේ ප්‍රෙද්ශයේ පාසැලක සිසුන් 21 දෙනෙකු රෝහල් ගතකර ඇතැයි තිරප්පනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. .
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ තිරප්පනය ඇතුන්ගම ගැමුණු විද්‍යාලයේ 4 වැනි වසරේ ඉගෙනුව ලබන සිසුන් පිරිසකි. විදුරුවලින් ආවරණය කළ පංති කාමරය එම සිසුන් ආහාර ගැනීම සිදු කර ඇති අතර ඉන් අනතුරුව සිසුන්ගේ ඇඟ කැසීමේ තත්වයක මතුව ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. රෝහල් ගතකර ඇති සිසුන් 21 දෙනා අතරින් 06 දෙනෙකුගේ ශරීරයේ පලු දැමීහා බිබිලි මතුවීම සිදුව ඇති බව පැවැසේ.
සිසුන් අතර මෙම ලක්ෂණ පහළ වීමත් සමග විද්‍යාල‍යේ විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය එක්ව 1990 සුවසැරිය ගිලන් රථ සේවාව මඟින් එම සිසුන් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබිණ.
සෞඛ්‍ය අංශ අනුමාන කරනුයේ ආවරණය කර තිබූ පංති කාමරයේ තිබූ දූවිල්ල හෝ වෙනත් තත්වයක් මත එම සිසුන්ට මෙම ආසාත්මිකතාවය ඇති වන්නට ඇති බවයි.
සිද්දිය සම්බන්ධයෙන් මේ වනවිට තිරප්පනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී තිරප්පනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයකු සඳහන් කලේ වීදුරුවලින් ආවරණය කරන ලද පංති කාමරයක ආහාර ගත් සිසුන් අතර මෙම තත්වය මතුව ඇති බවයි. එසේම ආහාර ගැනීමෙන් පසුව සිසුන් අතර මෙම තත්වය මතුව තිබීම නිසා මෙම තත්වය කිසියම් ආඝ්‍රාහණයකින් සිදුවූයේද නැතිනම් ආහාර හේතුවෙන් සිදු වූයෙ ද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැති බවයි. අද දිනයේ සිසුන් 80කට ආසන්න පිරිසකට මෙලෙස පාසැලෙන් ආහාර ලබා දී තිබූ බවත් ඒ අතරින් සිසුන් 21 දෙනෙකු මෙම ආසාත්මිකතාවයට ලක්ව ඇති බවත් හදුනාගෙන ඇති බැවින් වැඩිදුර විමර්ශණය සඳහා පාසැලෙන් සිසුන්ට ලබා දී තිබූ ආහාරවල සාම්පල ද ලබා ගැනීමට කටයුතු කර ඇති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.
ආසාත්මිකතාවයට ලක්වූ එම සිසුන් ප්‍රතිකාර සඳහා මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර තිරප්පනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් සිද්දිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශණ ආරම්භ කර තිබේ.

පාඨලීගේ සහාය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා වන ගිවිසුමට අද ඔවුන් අත්සන් තබා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

ජනක රත්නායක ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප තැන්පත් කරයි

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

එක්සත් ලංකා පොදුජන පක්ෂය වෙනුවෙන් ඔහු මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප තැන්පත් කරයි

2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් විසින් අදාළ ඇප මුදල් තැන්පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

තවත් දේශපාලන පක්ෂ 27 ක සහාය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීම වෙනුවෙන් දේශපාලන පක්ෂ 27ක් සමගි ජන සන්ධානය සමග ගිවිසුම් ගතවී තිබෙනවා.

ඒ අනුව මානුෂිය ජනතා සන්ධානය නියෝජනය කරන එක්සත් ලංකා පොදුජන පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය, ජාතික පෙරමුණ ඇතුලු පක්ෂ 27 ක් මෙලෙස ගිවිසුම් ගත වී ඇති බවයි වාර්තා වෙන්නේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා පත්‍රයට අත්සන් තබයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා වන නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී, මීට සුළු මොහොතකට පෙර එම නාම යෝජනා පත්‍රයට අත්සන් තබා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

2030 වනවිට මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වාර්ෂික අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලිය​න 05 ක් කිරී​ම ඉලක්කයයි – අනු​ර

2030 වසර වන විට මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වාර්ෂික අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 5 ක් බවට පත් කිරීම සිය ඉලක්කය බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව ක්ෂේත්‍ර ගණනාවක් සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගැනීමට අපේක්ෂා කරන බවත්, ආර්ථිකය වැඩිදියුණු කිරීමට, රාජ්‍ය සේවය කාර්යක්ෂම කර ගැනීම සඳහා සහ රාජ්‍යයේ ගනුදෙනුවල විනිවිදභාවය ඇතිකර ගැනීම සඳහා සැලසුම් සකස් කර ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජාතික ජන බලවේගයේ තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්තිය එළි දැක්වීම ඊයේ (13) සිදු වූ අතර විවිධ ක්ෂේත්‍රවල, විවිධ කණ්ඩායම් සමග සාකච්ඡා කරමින්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට වැදගත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සකස් කිරීම සඳහා සැලකිය යුතු කාලයක් වෙහෙසුන බවද ඔහු සඳහන් කළා.

වර්තමානයේ Smart Agriculture, Smart Classroom සම්බන්ධයෙන් සාකච්ඡා කළද, රටේ තිබෙන්නේ Dirty Politics බවත්, ඩිජිටල්කරණයට යාමට පෙර දේශපාලන පිටිය සුද්ද කළ යුතු බවත් අනුර කුමාර දිසානායක සඳහන් කළා.

මේ වනවිට එහෙට මෙහෙට පැනීම සිදුවන්නේ ප්‍රතිපත්තිමය කරුණු මත නොවන බවත්, සමහරුන් ඊළඟ පාර්ලිමේන්තුවට තමන්ගේ දොරටුව විවෘත කර ගැනීමට පනින අතර, සමහරුන්ගේ මාරුවීම් පිටුපස මූල්‍යමය ගනුදෙනු, රජයේ ඉඩම් ලබාදීම්, බාර් ලයිසන්, පෙට්‍රල් ෂෙඞ් ලබාදීම් තිබෙන බවද ඔහු සඳහන් කළා.

රටේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ ආණ්ඩු මාරු කිරීම් කළද, ආණ්ඩුව මාරු වූ පසු ඔවුන් මාරුවීමට කටයුතු කරන බවයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.

බඹර ප්‍රහාරයක් නිසා සීගිරිය තාවකාලිකව වසා දැමේ

බඹර ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින් සදහා සීගිරිය තාවකාලිකව වසා දමා තිබෙනවා.

අද (14) දහවල් එල්ලවූ මෙම බඹර ප්‍රහාරය හේතුවෙන් විදේශිකයින් ද ඇතුලුව සංචාරකයින් 30 දෙනෙකු පමණ රෝහල් ගත කළ බවයි පොලීසිය සඳහන් කළේ.

ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කිරීමේ කාලය අවසන්

ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද (14) දහවල් 12.00 න් අවසන් වුණා.

ඒ අනුව හෙට (15) පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීමට නියමිතව තිබෙනවා.