මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය භාවිතා නොකරන ලෙස මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිසම නිවේදනය කරනවා.

ජාතික කොඩිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සදහා භාවිත කරන පාර්ශ්ව සඳහා දැඩි ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මැතිවරණ කාර්යාල සකස් කිරීමට අදාළව නිකුත් කර ඇති චක්‍රලේඛයේ මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර තිබෙන බවද, ජාතික කොඩියට අමතරව ප්‍රචාරක කටයුතු සඳහා ආගමික සංකේත භාවිත කිරීම ද තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

ජපානයේ භුකම්පනයක්

ජපානයේ ඉබරාකි ප්‍රදේශයේ රික්ටර් පරිමාණ ඒකක 5.1ක භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට වේලාවෙන් අද (19) උදෑසන මෙම භූකම්පනය සිදුව ඇති අතර කිලෝ මීටර් 10ක පමණ ගැඹුරින් එය හට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මනූෂ නානායක්කාරට විශේෂ ජනාධිපති උපදේශක ධුරයක්

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41/1 වගන්තියට අනුව ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු කම්කරු සහ විදේශ රැකියා පිළිබඳ ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

හරීන් ප්‍රනාන්දුට විශේෂ ජනාධිපති උපදේශක ධුරයක්

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41/1 වගන්තියට අනුව ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි

බෞද්ධ ශාසනයේ ඓතිහාසික සිදුවීම් රැසක් සිදු වූ නිකිණි පුර පසලොස්වක පොහොය දිනය අදට (19) යෙදී තිබෙනවා.

රජගහ නුවර දී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, බුදුන්වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද හිමි රහත් භාවයට පත්වීම, පෙර වස් මගහැරි භික්ෂූන් වහන්සේ පසුවස් එළඹීම සහ බුදුන්වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කරමින් සේරුවිල දා ගැබ තැනීම ආරම්භ කිරීම ඇතුලු සිදුවීම් ගණනාවක් නිකිණි පොහොය දිනයේ සිදු වී තිබෙනවා.

මහනුවර ඇසළ පෙරහැරේ අවසන් රන්දෝළි පෙරහැර ද අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි.

අයර්ලන්ත ශ්‍රී ලංකා කාන්තා එක්දින තරගාවලියේ දෙවන තරගය අද

අයර්ලන්ත හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද තරගය අයර්ලන්තයේ බෙල්ෆාස්ට්හිදි මෙරට වේලාවෙන් සවස 3.15 ට ආරම්භ වීමට නියමිතයි.

ග්‍රාම නිලධාරි වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන්

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උපරිම දායකත්වය ලබාදීමේ අරමුණින් අද (18) මධ්‍යම රාත්‍රියේ සිට සිය වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන් කරන බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

ග්‍රාම නිලධාරි සේවා ව්‍යවස්ථාවන් සහ දිමනාවන් වත්මන් ආර්ථික තත්ත්වයට ගැලපෙන ලෙස සකස් කිරීම සඳහා ඉල්ලීම් කරමින් පසුගියදා වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

එමෙන්ම අගෝස්තු 12 සිට 18 දක්වා ක්‍රියාත්මක වූ කළු විරෝධතා සතිය සහ මැයි 17 සිට ක්‍රියාත්මක වූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයද අද මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කෙරෙන බවයි එහි සභාපති නන්දන රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.

ආහාර, සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා 18% ක VAT බද්ද මුළුමනින්ම ඉවත් කරනවා – අනු​ර

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ආහාර, සෞඛ්‍ය සහ අධ්‍යාපනය සඳහා 18% ක VAT බද්ද මුළුමනින්ම ඉවත් කරන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

පුරවැසියෙකුට කුසිගිනි වූ විට බදු ගෙවීමට කීමද, පුරවැසියෙකු ලෙඩ වූ විට බදු ගෙවීමට කීමද, පුරවැසියෙකු තම දරුවන්ට ඉගැන්වීමේදී බදු ගෙවීමට කීමද සාධාරණ නොමැති බවයි ඔහු පෙන්වා දුන්නේ.

එබැවින් පුරවැසියන් කුසගින්න නිවා ගන්නා ආහාර සඳහා ද, ලෙඩට ගන්නා ඖෂධ සඳහාද, දරුවන් ඉගෙනීමට ගන්නා අධ්‍යාපනික උපකරණ සඳහාද දැනට ගෙවීමට සිදුව ඇති 18%ක VAT බද්ද 0% දක්වා අඩු කරන බව ඔහු සඳහන් කළා.

මෙසේ කී විට රජයට ආදායම් ලැබෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටින බවද, මෙතෙක් බදු පොලු තබා ඇති ප්‍රමාණය රුපියල් කෝටි 110,000ක් වන අතර ඉන් නඩු කටයුතු නොමැති කෝටි 16,900 ක් ආරම්භයේදීම අය කරගත හැකි බව සොයා බලා ඇති බවයි ඔහු සඳහන් කළේ.

දැනට පවතින බදු හරහා වසර 4ක් තුළ ආහාර, සෞඛ්‍ය හා අධ්‍යාපනයෙන් අයකරගත හැකි VAT බද්ද ඊට වඩා අඩු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරේ විශේෂ අවස්ථා…..

https://www.youtube.com/embed/FNY8wsLSfws?si=0kfsqlIoEufisi_v” title=