කූඨ ලේඛනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඩයනාට අධිචෝදනා භාරදෙයි

කූඨ ලේඛනයක් ඉදිරිපත් කර ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීම සිදුකර තිබෙනවා.

ඒ අනුව අද (27) දිනයේදී කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේදී චෝදනා භාරදීම සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.

ඉන් අනතුරුව විත්තිකාර ඩයනා ගමගේ මහත්මියගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසද අධිකරණය නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසිට අත්හිටවූ සිරදඬුවම් සහ දඩ නියම කෙරේ

හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසිට වසර 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ අද (27) නියෝග කර තිබෙනවා.

2010 වසරේ දී ඒ. එච්. එම් ෆවුසි ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී එම අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්තයෙන් හිමිවූ රුපියල් කෝටි 2කට ආසන්න සුඛෝපභෝගි වාහනයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදවා ගැනීම, ඒ සඳහා අමාත්‍යාංශ ලේකම්වරිය ඇතුළු බලධාරීන් පෙළඹවීම හා වාහනයේ නඩත්තු කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදල් අමාත්‍යාංශ මුදලින් වැය කිරීම ආදි අධිචෝදනා 4ක් යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව අද දින කැඳවු අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව එච්. එම් ෆවුසි වරද පිළිගැනීමෙන් අනතුරුව ඔහුව එම චෝදනාවට වරදකරු කරමින් අධිකරණය එම නියෝගය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මුහුදු සීමා උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 08 ක් අත්අඩංගුවට

මන්නාරම ආසන්න මුහුදේ නීති විරෝධීව ධීවර කටයුතුවල යෙදී සිටි ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සමග යාත්‍රාවක් ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ඒ අනුව ධීවරයින් පිරිස හා යාත්‍රාව ධීවර දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කරන බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.

රනිල් ආවොත් නහයට උඩින් වතුර නොයා බේරෙන්න පුළුවන්, අනුර ආවොත් රට විනාශයි – සුජීව සේනසිංහ

රනිල්, අනුර, නාමල් යන තිදෙනාම සමගි ජන බලවේගයේ අඩුවැඩි වශයෙන් ප්‍රතිවාදීන් බව සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සුජීව සේනසිංහ පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණ බලයට පැමිණිය හොත් රට ඉතිරිවීමක් සිදු නොවන බවයි ඊයේ (26) පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

නමුත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි බලයට පැමිණිය හොත් නහයට උඩින් වතුර නොයා බේරීමේ හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පාස්පෝට් නිකුත් කිරීම සීමාකෙරේ

හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුව ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර හඳුන්වා දීමට රජය විසින් පියවර ගෙන ඇති අතර ඒ සඳහා ජාත්‍යන්තර මිල ගණන් කැඳවීම මගින් විදේශීය සමාගමකට විදේශ ගමන් බලපත්‍ර සැපයීම සඳහා ටෙන්ඩරයක් දැනටමත් ප්‍රදානය කර ඇති බවයි වාර්තා වන්නේ.

නමුත් දැනට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතු හිස් විදේශ ගමන් බලපත්‍ර තොග සීමිත වීම සැලකිල්ලට ගෙන ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර ඇණවුම් කළ සමාගමෙන්ම එම ඇණවුමෙහිම කොටසක් වශයෙන් සාමාන්‍ය හිස් විදේශ ගමන් බලපත්‍ර 50,000ක් සපයා ගැනීමට කටයුතු කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

ජාතික ජන බලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මීට සුළු මොහොතකට පෙර එළිදක්වා තිබෙනවා.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන දැක්ම ඔස්සේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සිදුකර තිබෙනවා.

පිටු 233 කින් යුත් අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතැනින් කියවීමට හෝ download කරගැනීමට හැකියි.

රාජ්‍යයේ ඉහළම තනතුර ඉල්ලන අයට පාර්ලිමේන්තුව මෙහෙයවගන්න මන්ත්‍රීවරු නැහැ – අගමැති

රාජ්‍ය පාලනය පිළිබඳ අද්දැකීමක් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට හැර අනෙකුත් අපේක්ෂකයින්ට නොමැති බව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඒ අනුව රාජ්‍යයේ ඉහළම තනතුර ඉල්ලන අයට පාර්ලිමේන්තුව මෙහෙයවා ගැනීමටද මන්ත්‍රීවරුන් නොමැති බවයි ජන හමුවක් අමතමින් අගමැතිවරයා සඳහන් කළේ.

එවැනි තත්ත්වයකින් රට තුළ ඇතිවිය හැකි ප්‍රජාතන්ත්‍රවාදී සහ ආර්ථිකය අවුල ගැඹුරු ගැටලුවක් ලෙස මහජන ජීවිත අවුලකට පත් කරනු ඇති බවයි අග්‍රමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්දියාවේ සිට නීති විරෝධීව මෙරට ගෙන ආ කෝටි 4 ක භාණ්ඩ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ඉන්දියාවේ සිට අද (26) උදෑසන මෙරටට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් කෝටි 4ක් පමණ වටිනාකමකින් යුත් භාණ්ඩ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගෙන ආ භාණ්ඩ අතර විදේශීය මත්පැන්, විවිධ වර්ගයේ දුම්වැටි, ක්‍රීම් වර්ග, වාහන අමතර කොටස් සහ ශල්‍යකර්ම සඳහා භාවිත කරන කතුරු තිබූ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මැතිවරණ කොමිෂන් සභාවට ජනමාධ්‍ය නිදහස සහ අදහස් දැක්වීමේ නිදහස පාලනය කිරීමේ අවශ්‍යතාවක් නැහැ – සමන් ශ්‍රී රත්නායක

මැතිවරණ කොමිෂන් සභාවට ජනමාධ්‍ය නිදහස සහ අදහස් දැක්වීමේ නිදහස පාලනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ලැබී තිබෙන නිදහස පාවිච්චි කළ යුත්තේ අනෙක් පාර්ශවයට බාධාවක් හෝ හානියක් නොවන පරිදි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

සමාජ මාධ්‍ය හරහා සිදුවන මත විමසුම් තහනම් කරන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්මින් ඔහු සඳහන් කළේ මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරන්නේ මැතිවරණ පනතට අදාළ නීති රීතී සමඟ පමණක් බවයි.

සමාජ මාධ්‍ය හරහා සිදුවන මත විමසුම් යුරෝපය ඇතුළු අනෙකුත් රටවල්වලද ක්‍රියාත්මක වන නිසා ශ්‍රී ලංකාවේද ඒවා ක්‍රියාත්මක කිරීම තරගයක් බවට පත්ව ඇති බවත්, ඒවා ස්වයං පාලනයක් සහිතව සිදු විය බවයි අද (26) පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

සමීක්ෂණ වාර්තා මඟින් යම් පෙළඹවීමේ හැකියාවක් පවතින බවත් ජනතාවගේ කාර්යබහුලත්වයත් සමඟ කෙටියෙන් පවසනදේට ජනතාව වැඩි අවධානයක් යොමු කිරීමේ හැකියාව පවතින බවද ඔහු සඳහන් කළා.

සමීක්ෂණ වාර්තා මඟින් කුමක් සඳහන් කළද අදාළ වන්නේ සැප්තැම්බර් 21 රටේ ඡන්ද දායකයින් ඡන්දය භාවිතා කිරීමෙන් අනතුරුව ඡන්දය ගනන් කිරීමෙන් පසුව ලැබෙන ප්‍රතිඵලය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට නාමයෝජනා කැඳවීමට පියවර

2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නාමයෝජනා භාරගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීමේ නිවේදනය අද (26) දින ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරියා විසින් ප්‍රසිද්ධ කොට ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් භාරගැනීම අද සිට සැප්තැම්බර් 11 වන දින මධ්‍යහ්න 12 දක්වා (මෙම කාලය අතරතුර එළැඹෙන 2024 අගෝස්තු 31 හා 2024 සැප්තැම්බර් 1, 7 හා 8 යන සෙනසුරාදා හා ඉරිදා දිනවල දී හැර) නාමයෝජනා භාරගැනීම 2024 සැප්තැම්බර් 9 සිට සැප්තැම්බර් 12 දින මධ්‍යහ්න 12 දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් දිසාපති කාර්යාලයේ දී සිදුකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්, සමන් ශ්‍රී රත්නායක නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

66cc20ce47ab6