පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විශ්‍රාම වැටුප හා වාහන පර්මිට් අහෝසි කරනවා – අනුර

දේශපාලකයා පිළිබඳ ජනතාවට ගෞරවයක් හා විශ්වාසයක් ඇති කිරීම සඳහා ජාතික ජන බලවේග ආණ්ඩුව පත්වූ වහාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීමට කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන වාහන බලපත්‍රය අහෝසි කරන බවත්, ඇමතිවරුන්ට ආණ්ඩුවෙන් ලබාදෙන නිල නිවස ද, විදුලි ගාස්තු හා ජල ගාස්තු ගෙවීම්ද අහෝසි කරන බවයි බණ්ඩාරවෙල පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ඇමතිවරුන් පිටුපස වාහන විශාල ප්‍රමාණයක් ගමන් කිරීම අහෝසි කරන බවත්, තර්ජනයක් ඇත්නම් පමණක් පොලිස් ආරක්ෂාව ලබාදෙන අතර, තර්නයක් නැත්නම් ඇමතිගේ දොර ඇරීම සඳහා පොලිස් නිලධාරීන් ලබා නොදෙන බවද ඔහු සඳහන් කළා.

හිටපු ජනාධිපතිවරුන් බලා ගැනීම නතර කිරීමට කටයුතු කරන බවද, එවිට රට ගැන වුවමනාවක් ඇති අය පමණක් දේශපාලනයට පැමිණෙනු ඇති බවයි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ජගත් කුමාර විපක්ෂයේ අසුන් ගනියි

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගෙන තිබෙනවා.

ජගත් කුමාර මන්ත්‍රීවරයා ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට පසුගිය 29 වනදා තීරණය කර තිබුණා.

අපේ ආණ්ඩු හැමදාම ගොඩනැගුවේ රටේ දේශීය චින්තනය පදනම් කරගෙන – නාමල්

ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සිය රජයක් තුළ ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩු ගොඩනගන විට රටේ දේශීය චින්තනය පදනම් කරගෙන ගොඩ නැගීමට කටයුතු කළ බවයි කලවාන ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඉදිරියේ පිහිටුවන ආණ්ඩුව තුළද පරමාර්ථය වන්නේ පොළොව සමඟ පොරබදමින් වගාකරන ගොවියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

රට පුරා ස්ථාන 20 ක සූර්ය බලාගාර ඉදි කිරීමට සඳහා කැබිනට් අනුමැතිය

මෙගාවොට් 1 සිට 5 දක්වා වන ධාරිතාවන්ගෙන් යුත් මෙගාවොට් 165 ක මුළු ධාරිතාවකින් සමන්විත භූමිය මත ඉදිකෙරෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා විදුලි බලාගාර ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

අම්පාර, අනුරාධපුර, අතුරුගිරිය, බෙලිඅත්ත, දෙනියාය, ගාල්ල, හබරණ, හොරණ, කොස්ගම, කුරුණෑගල, මාදම්පේ, මහියංගනය, මහව, මාතර, මතුගම, පන්නල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වවුනතිව් හා වේයන්ගොඩ යන ග්‍රිඩ් උපපොළ සඳහා මෙගාවොට් 165ක ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා තරගකාරී යෝජනා කැඳවා ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

එක් එක් ස්ථානය සඳහා ලංසුකරුවන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ඇගයීමෙන් පසු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබෙන අතර එකී නිර්දේශ මත පදනම්ව  ප්‍රතිචාරාත්මක සාර්‌ථක ලංසුකරුවන් වෙත කොන්ත්‍රාත්තු පිරිනැමීමට  විදුලිබල හා බලශක්ති  අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

66d6ca63b357a

ගොවීන්ගේ වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කරයි

ගොවීන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කර තිබෙනවා.

ගොවි සංගම් කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින්, ගොවී ජනතාවට මූල්‍ය සහන සහ සහයෝගය ලබා දීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

පුරාවස්තු අලෙවි කිරීමට රැගෙන ගිය සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

පුරාවස්තු කිහිපයක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු පාදුක්ක නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාදුක්ක පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකල හදිසි වැටලීමකදී එම පුරාවස්තු අලෙවි කිරීම සඳහා වෑන් රථයකින් රැගෙන යමින් සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

එම වෑන් රථයේ තිබී කිරිගරුඬ බුදු පිළිමයක්, වාලම්පූරියක්, පැරණි කාසි දෙකක් සහ මැටි පිඟානක් සොයාගත් බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපතිවරණයේ ‍තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට ඇරඹෙයි

මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට (04) ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට දිනයේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල, ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

හෙට දිනයට අමතරව අදාළ ස්ථානවල ලබන 6 වන දින ද තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල සිටින කාර්ය මණ්ඩලය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව සැප්තැම්බර් 05 සහ 06 දිනවල පැවැත්වීමට නියමිතයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දදායකයින් 712,319 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.

මර්දනයට එරෙහිව වෛද්‍යවරුන් අද දහවල් විරෝධතාවල

බස්නාහිර පළාත හැර දිවයිනේ අනෙක් සියලුම දිස්ත්‍රික්කවල රෝහල් ඉදිරිපිට අද (03) විරෝධතා ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව දහවල් 12.‍00 සිට 1.00 දක්වා කෑම පැයේ කාලය තුළ මෙම විරෝධතාවය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳව ජනතාවට සත්‍ය හෙළි කරන වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විනය පරීක්ෂණ ඇතුළු ක්‍රියාමාර්ගයන්ට විරෝධය පළ කිරීමේ අරමුණින් මෙම විරෝධතා ක්‍රියාත්මක බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කළේ.

ජනපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම අද සිට ආරම්භ වෙයි

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම අද (03) සිට ආරම්භ වනවා.

ලබන 14 වැනිදා වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැර අවසන් කිරීමට පියවර ගන්නා බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ.

මේ සඳහා තැපැල්කරුවන් 8000 ක් යොදා ගැනීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

“පුළුවන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනට අද රටේ බහුතර සහාය හිමිව තිබෙනවා – ජනපති

“පුළුවන් ශ්‍රී ලංකා”  05 වසරක ජාතික වැඩසටහනට අද රටේ සෑම පළාතකම ජනතාවගේ සහාය හිමිව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එම වැඩපිළිවෙළ ශක්තිමත්ව ක්‍රියාත්මක කර රටේ ආර්ථික ස්ථාවරත්වය ද ආරක්ෂා කර ගනිමින් ජනතාවට සහන සැලසීමට කටයුතු කරන බවයි  හලාවත පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

කෘෂි නවීකරණ වැඩසටහන යටතේ හලාවත පොල් වගාව දියුණු කිරීමට කටයුතු කරන බවත්, මාදම්පේ ආර්ථික කලාපය ඇති කිරීම මෙන්ම හලාවත වරාය ප්‍රධාන වරායක් ලෙස දියුණු කර මෙම සියලු ආර්ථිකයන් අධිවේගි මාර්ගය සමඟ සම්බන්ධ කිරීමේ රජයේ සැලසුම් පිළිබඳවද ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.