රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උද්ඝෝෂණ මාලාවක් පවත්වයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උද්ඝෝෂණ මාලාවක් අද (05) පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

සිය වෘත්තීය සමිති නායකයින්ට එරෙහිව ගනු ලබන විනය පරීක්ෂණ ඇතුළු ක්‍රියාමාර්ගවලට එරෙහිව මෙම විරෝධතා මාලාව සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව අදාළ උද්ඝෝෂණය කොළඹ ජාතික රෝහල, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල සහ පානදුර රෝහල ඉදිරිපිටදී දහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

දෙවන දිනය සඳහා තැපැල් ඡන්ද විමසීම ආරම්භ වෙයි

මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම දෙවන දිනය සඳහා අද (05) ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතයි.

අද දිනයේදී ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල සිටින කාර්ය මණ්ඩලය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව ලබාදී තිබෙනවා.

මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 22 ක් අත්අඩංගුවට

ජනාධිපතිවරණයට අදාළව නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව ජුලි 26 වැනිදා සිට මේ දක්වා කාලය තුළ ලැබුණු පැමිණිලිවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පොලීසියට පැමිණිලි 163 ක් ලැබී තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව වැඩිදුරටත් සඳහන් කළේ.

උප්පැන්න, විවාහ සහ මරණ සහතික සත්‍යාපනය කිරීමට Online ක්‍රමවේදයක් හඳුන්වා දෙයි

උප්පැන්න, විවාහ සහ මරණ සහතික මාර්ගගතව සත්‍යාපනය කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මෙම නව මාර්ගගත ක්‍රියාවලිය ඔස්සේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට කොන්සියුලර් කටයුතු අංශයේ මාර්ගගත සැලසුම හරහා ඔවුන්ගේ උප්පැන්න, විවාහ සහ මරණ සහතික සත්‍යාපනය කරගැනීම සඳහා ඉල්ලුම් කළ හැකි බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ අනුව, අමාත්‍යාංශයට පැමිණ අයදුම් කිරීමේ අවශ්‍යතාව හෝ සත්‍යාපනය කරන ලද ලේඛන ලබාගැනීමට පැමිණීමේ අවශ්‍යතාව ඉවත් කරමින් සත්‍යාපිත සහතික, අයදුම්කරු වෙත විද්‍යුත් තැපෑලෙන් යවන බවයි සඳහන් වෙන්නේ.

මේ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිස මාර්ගගත අයදුම්පතක් ඉදිරිපත් කළ යුතු අතර විස්තර ඉදිරිපත් කළ පසු, අයදුම්කරුවන්ට අවශ්‍ය ගෙවීම් කිරීමට සබැඳියක් ලැබීමෙන් පසු සහතික උත්පාදනය සහ සත්‍යාපනය සඳහා ගාස්තු මෙම සබැඳිය හරහා මාර්ගගතව ගෙවිය යුතු බවයි සඳහන් වෙන්නේ.

ගනුදෙනුව සම්පූර්ණ කිරීමෙන් පසු, සත්‍යාපනය කරන ලද ලේඛනය (පාරිභෝගික පිටපත) අයදුම්කරු විසින් සපයන ලද විද්‍යුත් ලිපිනයට විද්‍යුත් තැපෑලෙන් එවන ලබන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

පළමු දිනය සඳහා තැපැල් ඡන්ද විමසීම අවසන් වෙයි

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු පළමු දිනය සඳහා මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.

අද පෙරවරු 9.00 සිට තැපැල් ඡන්ද විමසීමට පැවැත්වීමට කටයුතු කර තිබුණා.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවල පිරිස් අද තැපැල් ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු දිවයින පුරා සිදුවෙයි

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු පළමු දිනය සඳහා අද (04) පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ අනුව අද පස්වරු 4.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිව ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

දිවයින පුරා ප්‍රදේශ කිහිපයක තැපැල් ඡන්ද ප්‍රකාශ කරන ආකාරය පහතින්.

සැප්තැම්බර් 22 වනදා නව ජනාධිපතිවරයා ලෙස පත් වන්නේ රනිල් වික්‍රමසිංහ – ආශු මාරසිංහ

සැප්තැම්බර් 22 වනදා නව ජනාධිපතිවරයා ලෙස පත් වන්නේ රනිල් වික්‍රමසිංහ බව එක්සත් ජාතික පක්ෂයේ ආශු මාරසිංහ පවසනවා.

බිමේ ජනතාව සිටින්නේ රට වසර දෙකක් තුළ මෙම තත්ත්වයට ගෙන ආ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග බවයි අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

මෙය අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන මැතිවරණයක් බවත් විවිධ මඩ පුවත් ප්‍රචාරය කර ජනතාව නොමග යැවීමට උත්සාහ කරන බවයි එක්සත් ජාතික පක්ෂයේ ආශු මාරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කෙහෙළියගේ පෙත්සම ගැන තීන්දුව ලබාදීම ඔක්තෝබර් 03 දක්වා කල් තබයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගොනුකර ඇති පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් කල් තබා තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නඩු විභාගය අවසන් වන තෙක් තමාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය බලරහිත කරන ලෙසත් තමන්ව මුදාහරින ලෙසත් ඉල්ලා ඔහු මෙම පෙත්සම ගොනුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

එම පෙත්සම පිළිබඳ නියෝගය අද (04) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබු අතර කෙසේවෙතත් එහි තීන්දුව ප්‍රකාශ කිරීම ඔක්තෝබර් මස 03 වනදා දක්වා කල් තබා තිබෙනවා.

ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය එළිදක්වයි

ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය එළිදැක්වීම ඊයේ (03) සිදුකර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව විසින් සංවිධානය කළ “National Business Forum” ව්‍යාපාරික සමුළුවේදී ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙය එළිදක්වා ඇති බවයි වාර්තා වෙන්නේ.

අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතැනින් කියවීමට හෝ Download කර ගැනීමට හැකියාව පවතිනවා.

ධීවර යාත්‍රා අනතුරකින් තිදෙනෙක් අතුරුදන්

බහුදින ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටී අනතුරකට ලක්වී, ධීවරයින් තිදෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

ඊයේ (03) දින අලුයම් කාලයේ ලංකා මුහුදු තීරයට මුහුදු සැතපුම් 270ක් පමණ දුරින් මුහුදේ දී ධීවරයින් 07 දෙනෙකු ගමන් කළ ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටී පෙරළී ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

එම ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 03 දෙනෙකු අතුරුදන්ව ඇති අතර ධීවරයින් 04 දෙනෙකු තවත් ධීවර යාත්‍රාවකින් බේරාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අතුරුදන් වූ ධීවරයින් සොයා මේ වන විට මෙහෙයුම් දියත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.