ජනාධිපති අපේක්ෂකයෙකුට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ගැන ලැබුනු තොරතුරක් CIDය අධිකරණයට දන්වයි

ජනාධිපති අපේක්ෂකයෙකුට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට ලද තොරතුරක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේගේ නිල මැදිරියේදී මෙම කරුණු වාර්තා කිරීම සිදුකර ඇති අතර අතිශය රහසිගත වාර්තාවක් පසුගිය 02 වනදා ඉදිරිපත් කර ඇති බවද වාර්තා වනවා.

නුවර ප්‍රදේශයේ පදිංචි හිටපු පොලිස් නිලධාරියකු විසින් ලබාදුන් තොරතුරක් මත මෙම විමර්ශන සිදු කරන අතර එම නිලධාරියාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඉදිරි විමර්ශන සිදු කරන බවයි පොලීසිය අධිකරණයට දැනුම්දී ඇත්තේ.

වැඩිදුර විමර්ශන සිදු කරන ලෙස පොලීසියට දැනුම්දී ඇති මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ සැකකරුවන් ඇත්නම් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා පොලීසියට දැනුම්දී තිබෙනවා.

පොහොට්ටුවේ රාජ්‍ය අමාත්‍යවරුන් 4 ක් ඉවත් කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනෙකු ධූරවලින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව වරාය සහ ගුවන්සේවා සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, විදුලි හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සහ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මෙලෙස ඉවත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

රංගන හේරත් නවසීලන්ත දඟ පන්දු යැවීමේ පුහුණුකරු තනතුරට

හිටපු ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.

ඇෆ්ගනිස්තාන තරගාවලියට සහ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අභියාචනාධිකරණයට නව විනිසුරුවන් පත්කර තිබෙනවා.

ඒ අනුව හිටපු මහාධිකරණ විනිසුරුවරුන් වන කේ.එම්.ජී.එච්. කුලතුංග, ඩී. තොටවත්ත, ආර්.ඒ. රණරාජා සහ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් එම්.සී.එල්.බී. ගොපල්ලව එම තනතුරු සඳහා පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන ව්‍යවස්ථාව අනුව එම පත්කිරීම් සිදුකර ඇති බව වැඩිදුරටත් සඳහන්.

ජනාධිපති අපේක්ෂකයින් අතර පළමු විවාදය හෙට

‘මාර්තු 12 ව්‍යාපාරය’ විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න හෙට (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

හෙට ප.ව. 3.00 සිට 5.00 දක්වා සියලුම ප්‍රධාන රූපවාහිනි නාලිකා සහ සමාජ මාධ්‍ය ජාල 200කට අධික ප්‍රමාණයක මෙම විවාදය සජීවිව විකාශය කෙරෙන බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

ඒ අනුව හෙට දින විවාදය සඳහා ජනාධිපති ධූර අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන සිය සහභාගිත්වය ස්ථිර කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වය මේ සඳහා සහභාගීවීම අපහසු බවට දන්වා ඇති බවත් අනුර කුමාර දිසානායකගේ පැමිණීම තහවුරු කරනු ඇති බවට බලාපොරොත්තුවෙන් සිටින බවයි රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

දේශබන්දු තෙන්නකෝන්ගේ අතුරු තහනම් නියෝගයට එරෙහිව හිමිවරුන් තිදෙනෙකුගෙන් අතරමැදි පෙත්සමක්

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ වගකීම් හා රාජකාරී ඉටු කිරීම වළක්වාලමින් පනවා ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන අතරමැදි පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ලබන 13 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම අතරමැදි පෙත්සම අද (06) යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් ඇතුළු හිමිවරු තුන්දෙනෙකු විසින් විම අතරමැදි පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

තෙවන දිනය සඳහා තැපැල් ඡන්ද විමසීම ආරම්භ වෙයි

මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම තෙවන දිනය සඳහා අද (06) ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතයි.

අද දිනයේදී ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල සිටින කාර්ය මණ්ඩලය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව ලබාදී තිබෙනවා.

කොළඹ වරාය නගරයේ ඉදිකළ The Mall තීරු බදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කෙරේ

කොළඹ වරාය නගර පරිශ්‍රයේ අලුතින් ඉදිකරන ලද “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විවෘත කර තිබෙනවා.

මෙම කලාපයේ ඉදිකරන ලද ප්‍රථම නාගරික තීරුබදු සාප්පු සංකීර්ණය මෙය වන අතර, භාණ්ඩ අලෙවිසැල්, ආපන ශාලා සහ අනෙකුත් වෙළෙඳසැල් වලින් එය සමන්විත වන බවයි වාර්තා වෙන්නේ.

මෙම සාප්පු සංකීර්ණයෙහි One World, China Duty Free Group (CDFG) සහ Flemingo යන ලොව ප්‍රකට තීරුබදු රහිත වෙ‍ළෙඳසැල් සිය මෙහෙයුම් කටයුතු ඇරඹීමට නියමිත අතර, ඒ සමඟ කොළඹ වරාය නගරය මෙම කලාපයේ සාප්පු සවාරි ගමනාන්තයක් ලෙස පිළිගැනීමට ලක්වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

බිබිල ප්‍රදේශයේදී බස් දෙකක් ගැටී 47 ක් රෝහල් ගත කෙරේ

බිබිල නාගල ප්‍රදේශයේදී බස් රථ දෙකක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 47 දෙනෙකු පමණ රෝහල්ගත කර තිබෙනවා.

බිබිල පොලිස් වසමේ බිබිල අම්පාර මාර්ගයේ නාගල ප්‍රදේශයේදී බිබිල දෙස සිට අම්පාර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක එම දෙසටම ඊට පසුපසින් ධාවනය වූ ලංගම බස් රථයක් ගැටීමෙන් අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පෞද්ගලික බස් රථයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන පිරිසක් ගමන් කර ඇති අතර අනතුරින් බස් රථ දෙකෙහි ගමන් ගත් මගීන් 47 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා බිබිල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.