ජ’පුර ගැටුම ගැන සජිත් ප්‍රේමදාස අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවට මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇති වූ ගැටුම ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ නියෝජිතයින් පටු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් වැරදි ලෙස අර්ථකථනය කරමින් ඇති බවට එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

සිසුන් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් ලෙස විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පැහැදිලිව දන්වා සිටි අදාළ සිද්ධිය, දේශපාලන පක්ෂ දෙකක් අතර සිදු වූ ගැටුමක් බවට ඔවුන් සමාජ ගත කරමින් සිටින අතර එය පදනම් විරහිත අසත්‍ය ප්‍රචාරයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද දායකයින් අතුරින් දහස් ගණනක් නියෝජනය කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බරපතල ලෙස අගතියට පත්ව ඇති බවත් මේ සම්බන්ධයෙන් කඩිනමින් මැදිහත් වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් යොමු කළ පැමිණිල්ල පහතින්.

66e7b91228225

ලාංකීය ජනතාව තෝරා පත්කරගන්නා ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කිරීමට සූදානම් – Julie Chung

මෙරට ජනතාව තෝරා පත් කරගන්නා ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කිරීමට අමරිකාව අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති Julie Chung පවසනවා.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කළ හැකි වැදගත්ම කාර්යය බවයි X පණිවිඩයක් නිකුත් කරමින් ඇය සඳහන් කර ඇත්තේ.

අදාළ X පණිවිඩය පහතින්.

66e78f66a31a8

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 97% ක් බෙදාහැර අවසන්

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 97% ක් මේ වන විට බෙදාහැර අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින්ට ලබන 18 වැනිදා සිට 21 වැනිදා දක්වා ළඟම පිහිටි තැපැල් කාර්යාලයෙන් අනන්‍යතාව තහවුරු කර ඒවා ලබා ගත හැකි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ සඳහන් කළේ.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම පසුගිය 14 වනදා අවසන් වුණා.

මිලාද් උන් නබි උත්සවය අදයි

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන මිලාද් උන් නබි උත්සවය අදට යෙදී තිබෙනවා.

ඉස්ලාම් චන්ද්‍ර දින දර්ශනයේ තුන්වන මාසය වන රබ්අල් – අව්වල් මාසයේ අද වැනි දිනක සෞදි අරාබියේ මක්කා නගරයේදී නබි නායකතුමන් උපත ලබා ඇති බව ඉස්ලාම් දහමේ දැක්වෙන්නේ.

මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවණීය මානව ප්‍රේමයක් ගොඩනැගීමට කැපවූ නබි නායකතුමන්ගේ ජන්ම දිනය ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් අද දිනයේදී මහත් උත්සවාකාරයෙන් සහ ආගමානුකූලව සමරනු ලබනවා.

ලොව පුරා විවිධ රටවල නබි නායක තුමාගේ ජන්ම දිනය සැමරීම සිදුකරන අතර ශ්‍රී ලංකාවේ ද ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.

රනිල්ට වසර 30 ක් දෙස් විදෙස් බලවේග ජනාධිපති පුටුවේ වාඩි වෙන්න දුන්නෙ නෑ – වජිර

රනිල් වික්‍රමසිංහ 9 වන විධායක ජනාධිපති ධුරයට පත් වන්නේ නම් ශ්‍රී ලංකාව ආසියාවේ බලවත් රාජ්‍යක් වනු ඇති බවට සහතික වන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

රනිල් වික්‍රමසිංහට ජනාධිපති පුටුවේ වාඩිවීම සඳහා වසර 30ක් දෙස් විදෙස් බලවේග ඉඩ ලබා නොදුන් බවයි ජන හමුවක් අමතිමින් ඔහු සඳහන් කළේ.

ඒ අනුව එම විදෙස් බලවේග සියල්ල පරාජය කරන කතිරය ගෑස් සිලින්ඩරය බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අනන් මනන් වානා, පලවෙනි මනාපෙන්ම සජිත් ජනාධිපති වෙනවා – ඩිලාන්

මේ වන විට සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඡන්ද ලක්ෂ 100 ට කිට්ටු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.

ඒ අනුව සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය ස්ථිර බවයි බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා සඳහන් කළේ, “දෙවනි මනාප නෑ, තුන්වෙනි මනාප නෑ, අනන් මනන් වානා, පලවෙනි මනාපෙන්ම සජිත් ජනපති වෙනවා වෙනවාමයි.” බවයි.

කෝටි දෙකක දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි දෙකක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි නැවත පිරවීම සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුව එම ද්‍රව්‍ය මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකුද කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ

ඔහු විසින් රැගෙන ආ ගුවන් මලු තුළ දුම්වැටි 120,400ක් අඩංගු දුම්වැටි කාටූන් 602ක් සඟවා ගෙන පැමිණ සිටියදී, කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් මෙලෙස සොයා ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

2024 දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 4.7%යි – සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

2024 වර්ෂයේ දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 4.7%ක් ලෙස වාර්තා වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

2023 දෙවන කාර්තුවේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,644,240ක් ලෙස වාර්තා වී තිබූ අතර එය 2024 දෙවන කාර්තුවේ දී රුපියල් මිලියන 2,768,293 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

2024 දෙවන කාර්තුවේ දී කෘෂිකාර්මිල කටයුතු 1.7%කින්ද, කර්මාන්ත ආර්ථික කටයුතු 10.9%කින්ද, සේවා ආර්ථික කටයුතු 2.5%කින්ද ධන වර්ධනයන් වාර්තා කර ඇති බව අදාළ කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

විරාජිනී තෙන්නකෝන්ගේ “කැමෙලියා” නවකතාවට මෙවර ස්වර්ණ පුස්තක සම්මානය

වසරේ විශිෂ්ටතම නවකතාව ලෙස 2024 ස්වර්ණ පුස්තක සම්මානය දිනා ගැනීමට “කැමෙලියා” නවකතාව සමත්වී තිබෙනවා.

ඒ අනුව “කැමෙලියා” නවකතාව විරාජිනි තෙන්නකෝන් කතුවරිය විසින් රචනා කර තිබෙනවා.

ස්වර්ණ පුස්තක 2024 ඊයේ (14) බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත් වුණා.

ඡන්ද කාඩ් නොලැබුණු පුද්ගලයින්ට බදාදා සිට ළඟම තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකියි – තැපැල්පති

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබූනු පුද්ගලයින්ට , ලබන බදාදා සිට තමන්ට ලිපි බෙදන තැපැල් කාර්යාලයට ගොස් එම පත්‍රිකා ලබා ගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

දීර්ඝ නිවාඩුවක් එළඹීම නිසා තැපැල් කාර්යාල වසා තැබීම ඊට හේතුව බවයි තැපැල්පති ආර්.පී. සත්කුමාර සඳහන් කළේ.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම ඊයේ (14) දිනයෙන් අවසන් කර තිබුණා.