වැඩි ඡන්ද ලක්ෂ 20 කින් ජය නියතයි – සජිත්

මෙවර ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයට වැඩි ඡන්ද ලක්ෂ 20කින් ජය නියත බව එහි ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ අනුව යථාර්තවාදී සියලුම සමීක්ෂණ වාර්තා විසින් ඒ බව තහවුරු කර ඇති බවයි ඊයේ (18) ”දිනන සජිත්” අවසන් ජන රැළිය අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

එක පැත්තකින් තමා කෙසේ හෝ පැරදවීමට උත්සාහ කරන රනිල් අනුර සන්ධානය සිටින බවත්, ජනතාව ආර්ථික අර්බුදය හමුවේ දුක්විඳින විට රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේ අල්ලස සහ දූෂණය ප්‍රමුඛ කාරණයක් බවට පත්ව ඇති බවද ඔහු සඳහන් කළා.

රටේ ලක්ෂ 220 ක් වූ ජනතාවගේ ‍පොදුජන යුගය බිහි කිරීම සඳහා සමගි ජන බලවේගය ජයග්‍රහණය කරවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කෙහෙළියගේ පුතා​ට අයත් නිවාස දෙකක් පරිහරණය තහනම් කරමින් නියෝගයක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලට අයත් සුඛෝපභෝගී නිවාස දෙකක් පරිහරණය කිරීම තහනම් කරමින් කොළඹ මහාධිකරණය අද (19) නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

රමිත් රඹුක්වැල්ල විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක නිවාස දෙකක් රුපියල් මිලියන 80 ක් සහ රුපියල් මිලියන 65 බැගින් මිලදී ගෙන තිබෙන බවත්, මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත්, ඊට අදාළව එම දේපොළ තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම කොමිසම අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

එම ඉල්ලීම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අදාළ දේපොළ ලබන දෙසැම්බර් මස 19 වනදා දක්වා පරිහරණය කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඡන්දය භාවිතා කිරීමට පැමිණෙන ඡන්ද දායකයින්ට පොලීසියෙන් දැනුම්දීමක්

ඡන්දය පැවැත්වෙන දිනයේදී සිය ඡන්දය භාවිතා කිරීමට පැමිණෙන ඡන්ද දායකයින් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පොලීසිය ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ඡන්දය ප්‍රකාශයට පැමිණෙන පුද්ගලයින් වාහනයකින් පැමිණෙන්නේ නම්, එය මධ්‍යස්ථානයට බාධාවක් නොවන පරිදි ගාල් කර තබා ඡන්දය ප්‍රකාශ කිරීමට යන ලෙසත්, ආබාධිත පුද්ගලයින් රැගෙන එන, කළින් අවසර ලබාගත් වාහනවලට පමණක් ඇතුළුවීමට අවසර ලබාදෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

එසේම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඇඳගෙන පැමිණෙන ඇඳුම්වල හෝ බෑග්වල නොදැනුවත්ව හෝ තියුණු ආයුධ කොටස් තිබිය හැකි නිසා ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වී පැමිණීමෙන් අපහසුතාවයන්ට පත්වීමෙන් වැළකීමට හැකි බවද ඔහු සඳහන් කළා.

අධික ලෙස මත්පැන් පානය කර ඡන්ද මධ්‍යස්ථානවලට නොපැමිණෙන ලෙසත්, එසේම ඡංගම දුරකථන ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන යාමට අවස්ථාව ලබා නොදෙන බවත්, යම් හෙයකින් වීඩියෝ ගත කිරීමක් හෝ ඡායාරූප ගත කිරීමක් සිදුකළහොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මැතිවරණ ප්‍රතිඵල විකාශය වන අතරතුර, පුළුල් තිර යොදා ජනතාව ඒකරාශී කිරීම නීතියෙන් තහනම් – මැතිවරණ කොමිසමේ සභාපති

ඡන්ද දායකයින් විසින් සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඡන්ද ගණන් කිරීමේ අවස්ථාව දක්වා නිවෙස්වල රැඳී සිටින ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක දන්වා සිටිනවා.

ඡන්ද ගණන් කිරීම සිදුවන අවස්ථාවේ,  රූපවාහිනී හෝ පුළුල් තිර යොදා කණ්ඩායම් වශයෙන් මහා මාර්ගය අසළ එය නැරඹීම නොකළ යුතු බව අද (19) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ.

මැතිවරණ ප්‍රතිඵල විකාශය වන අවස්ථාවේදී කණ්ඩායම් වශයෙන් රතිඤ්ඤා දල්වමින් පාරවල්වල විනෝද වීමද, ආලෝක බැලූන් ගුවනේ පා කර හැරීමද නීතියෙන් තහනම් බවයි ඔහු සඳහන් කළේ.

මෙලෙස එක්රැස්වීම් සියල්ල අයුතු ජන රාශිය යන වරදට යටත් වන බවත්, ඒවා විසුරුවා හැරීමට හෝ ඒවාට සම්බන්ධ වන පුද්ගලයින් ගැන ආරක්ෂක අංශ විසින් කටයුතු කරනු ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයට 21 තෙක් තැපැල් කාර්යාලවලින් පත්‍රිකා ලබාගැනීමේ අවස්ථාව

2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදාහැරීම මේ වනවිට සියල්ල අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයින් සිටී නම්, අද (19) සිට 21 වැනිදා තෙක් තමන්ට අයත් තැපැල් කාර්යාලයෙන් ඒවා ලබාගන්නා ලෙසයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ.

සිය අන්‍යතාව තහවුරු කර පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ ඒවා ලබාගත හැකි අතර, කෙසේ වෙතත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොමැතිව වුවද, හැඳුනුම්පත රැගෙන යාමෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මිදිගම ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

මාතර – ගාල්ල ප්‍රධාන මාර්ගයේ මිදිගම ප්‍රදේශයේ දී වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව මෙලෙස මියගොස් ඇත්තේ මාළු වෙළෙන්ඳෙක් වන කැලුම් චතුරංග නැමති 38 හැවිරිදි පුද්ගලයෙක් බවයි සඳහන් වෙන්නේ.

මාළු ලබා ගැනීමට පැමිණි තවත් පුද්ගලයින් දෙදෙනෙකුට ද වෙඩි වැදී තුවාල ලබා, ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙන බවයි සඳහන් වෙන්නේ.

දක්ෂිණ අධිවේගයේ කන්ටේනර් රථයක් පෙරළී ගොස් අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ, පින්නදුව සිට බද්දේගම අතර, කොළඹ දෙසට 88.3 කිලෝමීටර් කණුව ආසන්නයේ කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරළී ගොස් අනතුරක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද (19) අලුයම් කාලයේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

කොළඹ දෙසට ධාවනය වන එක් පසෙක මංතීරු දෙකෙන් එක් මං තීරුවක රථ වාහන ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුවන වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

රනිල් වික්‍රමසිංහගේ අවසන් ජන රැළිය ආරම්භ වෙයි

ස්වාධීන ජනාධිපති අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවසන් ජන රැළිය අද (18) පැවැත්වෙනවා.

ඒ අනුව කොළඹ නගරයේදී එම ජන රැළිය මේ වන විට ආරම්භවී ඇති බවයි වාර්තා වෙන්නේ.

සජිත් ප්‍රේමදාසගේ අවසන් ජන රැළිය ආරම්භ වෙයි

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අවසන් ජන රැළිය අද (18) පැවැත්වෙනවා.

ඒ අනුව කොළඹ නගරයේදී එම ජන රැළිය මේ වන විට ආරම්භවී ඇති බවයි සඳහන් වෙන්නේ.

නාමල් රාජපක්ෂගේ අවසන් ජන රැළිය ආරම්භ වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ අවසන් ජන රැළිය අද (18) පැවැත්වෙනවා.

ඒ අනුව කැස්බෑව නගරයේදී එම ජන රැළිය මේ වන විට ආරම්භවී ඇති බවයි සඳහන් වෙන්නේ.