නිලන්ත ජයවර්ධන වන්දි මුදල් ගෙවා අවසන් කරයි

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව නියම වූ රුපියල් මිලියන 75 ක වන්දි මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර තිබෙන බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන අද (07) අධිකරණයට දැනුම්දී තිබෙනවා.

එම නඩුකරය අද (07) කැඳවූ අවස්ථාවේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පසුගියදා නිකුත් කළ නොතීසියකට අනුව නිලන්ත ජයවර්ධන අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාළව නියම වූ වන්දි මුදල් ගෙවා අවසන් නොකිරීම තුළින් අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් සිදු කර ඇති පැමිණිල්ලට අදාළව මෙම නියෝගය නිකුත් කර තිබුණා.

පසුව අද දිනය තුළ වන්දි මුදල ගෙවීම සඳහා ඔවුන් අවසර ඉල්ලා සිටි පසුව වන්දි මුදල් ගෙවූ බව තහවුරු කරන ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින් නඩුව පස්වරු 1.30 දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල නියෝග කළ අතර, ඒ අනුව වන්දි මුදල් ගෙවූ බවට වන ලේඛන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඉන් අනතුරුව මෙම නඩු කටයුත්ත යළි නොවැම්බර් මස 18 වනදා කැඳවීමට විනිසුරු මඬුල්ල නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

සමගි ජන සන්ධානයෙන් නාම යෝජනා වෙනුවෙන් කමිටුවක් පත් කෙරේ

2024 මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයෙන් නාමයෝජනා සඳහා ඉදිරිපත්ව ඇති පුද්ගලයින් සඳහා විවිධ පාර්ශ්ව විසින් මතුකර ඇති විරෝධතා සහ ගැටලු පරීක්ෂා කොට වාර්තා කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා.

සමගි ජන බලවේග පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ උපදෙස් පරිදි පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති නීතිඥවරුන් වන ඩිනල් පිලිප්, නලින් දිසානායක සහ එස්.ඩී. ජයනාථ පත්කර තිබෙනවා.

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ හා ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත ‘අවදානයෙන් සිටින්න’ ලෙසට අදාළ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත ‘විමසිලිමත් වන්න’ යන අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

රජයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ලෝක බැංකු සමූහයෙන් තවත් ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ලබා දීමට අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ ණය ගිවිසුමට අත්සන් තැබීම අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ, ස්ථාවරත්වය සහ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ සංවර්ධන ප්‍රතිපත්ති මුල්‍යකරණ (DPF) වැඩසටහනේ දෙවන අදියර යටතේ මේ මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ නිවේදනය සහ ඡායාරූප පහතින්.

6703a0f9f33fdpdf_page_0

6703a0fab335dpdf_page_1

සනත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධූරයට

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.

ඒ අනුව ඔහු 2024 ඔක්තෝබර් 01 වනදා සිට 2026 මාර්තු 31 වනදා දක්වා කාලය සඳහා පත්කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

විභාග නොකළ පැමිණිලි සති 2ක් තුළ විභාග කර අවසන් කරන ලෙස වැඩබලන පොලිස්පති දැනුම්දෙයි

පොලිස් ස්ථානවලට වාර්තා වී ඇති මෙතෙක් විභාග නොකළ සහ අවසන් කර නොමැති පැමිණිලි සති 2ක් තුළ විභාග කර අවසන් කරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය දැනුම්දී තිබෙනවා.

එසේම පොලිස් ස්ථාන වෙත ලැබෙන විවිධ පැමිණිලි එදිනම විභාග ආරම්භ කිරීමටත්, පැය 48 ක් තුළ විභාග කර අවසන් කිරීමටත් වැඩබලන පොලිස්පති නියෝග කර ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ 6ක් අක්‍රීය කිරීමට මැතිවරණ කොමිසම තීරණ කරයි

දේශපාලන පක්ෂ 6ක් අක්‍රීය කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

ලේකම් ධූර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නෙ.

ඒ අනුව, ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ලංකා පොදුජන පක්ෂය, එක්සත් ලංකා මහා සභා පක්ෂය, ලංකා ජනතා පක්ෂය සහ ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණට ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට අවස්ථාව නොලැබෙන බවයි සඳහන් වෙන්නේ.

මැතිවරණ කොමිසම සඳහන් කළේ, ගැටලුකාරී තත්ත්වයන් නිරාකරණය කර ගැනීම සඳහා පක්ෂ කිහිපයක නියෝජිතයින් කැඳවා සාකච්ඡා කළ ද ඒවා සාර්ථක නොවූ බවයි.

ඔබගේ අපේක්ෂාවත් මාගේ අපේක්ෂාවත් එකක් – ජනපති අනුර

රටේ ජනතාවගේ අපේක්ෂාවත් තම අපේක්ෂාවත් එකක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මෙරට පළමුවරට රටේ පුරවැසියන්ගේ අරමුණු, අපේක්ෂා, බලාපොරොත්තු හා රටේ පාලකයාගේ අරමුණු, අපේක්ෂා, බලාපොරොත්තු එකම වන පාලනයක් ගොඩනැගී ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

එබැවින් රටේ ජනතාව අපේක්ෂා කරන පාස්කු ඉරිදා ප්‍රහාරය සඳහා සාධාරණත්වය සහ යුක්තිය ඉටුකිරීම තමන්ගේත් අපේක්ෂාව සහ බලාපොරොත්තුව බවද, ඒ සඳහා කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළා.

එබැවින් තමන් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන ලෙසයි අද කටුවාපිටිය දේවස්ථානයේදී ජනතාව අමතමින් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ.

ජනපතිවරණ අපේක්ෂකයින් 34ක් මෙතෙක් ප්‍රචාරක වියදම් වාර්තා ලබා දී නැහැ – මැතිවරණ කොමිසම

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 34 දෙනෙකු ප්‍රචාරක වියදම් වාර්තා මෙතෙක් ලබාදී නැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයින් සංඛ්‍යාව 38 ක් වන අතර ඒ අනුව ප්‍රචාරක වියදම් වාර්තා දී ඇත්තේ අපේක්ෂකයින් 4 දෙනෙකු පමණක් බවයි සඳහන් වෙන්නේ.

මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව ලබන 13 වැනිදාට පෙර, එම වාර්තා ලබාදිය යුතු අතර අදාළ කාලසීමාව තුළ වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයින් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන බවට කටුවාපිටියෙදී ජනපතිගෙන් සහතිකයක්

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බවත් එම වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට සහතික වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමඟ අද (06) මිගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කර තිබෙනවා.

අද පෙරවරුවේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණි ජනාධිපතිවරයා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිවීම පිණිස එම භූමියේ ස්ථාපිත කර ඇති ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.